යුගදනවි දුන්නාට ආණ්ඩුවේ මත ගැටුම්


සාකච්ඡාවක් ඉල්ලා හවුල්කාර පක්ෂවලින් ජනපතිට ලිපියක් 

(අජන්ත කුමාර අගලකඩ)  

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ගිවිසුමකින් පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩු​වේ පක්ෂ අතර බරපතළ දේශපාලන මත ගැටුමක් නිර්මාණය වී තිබේ.  
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් ආණ්ඩුවට ප්‍රසිද්ධියේ විරෝධය පළ කර ඇත.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, අපේ ජනබල පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් මෙම ගිවිසුම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත.


මේ සම්බන්ධයෙන් වහා සාකච්ඡාවක් ලබා දෙන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් පිටු තුනකින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවා ඇති බවද වාර්තා වේ.  
මෙම ගිවිසුම යළි සලකා බලන්නැයි එම ලිපිය මගින් ඉල්ලීමක් කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  


ගෑස් බෙදා හැරීමේ ඒකාධිකාරය මෙම ගිවිසුම හරහා එක් සමාගමකට පැවරීම බරපතළ තත්ත්වයක් බව ද එම ලිපිය මගින් දැනුම් දී ඇතැයි දැනගන්නට තිබේ. 


අපේ ජනබල පක්ෂයේ නායක අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, අසංක නවරත්න යන මහත්වරුන් මෙම ලිපියට අත්සන් තබා ඇතැයි ද වාර්තා වේ  


එම පිරිස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග ද ඉකුත් බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ නමුත් එම සාකච්ඡාව ද අසාර්ථක විය.