මිථ්‍යාව වපුරන දේශකයන්ට දැඩි දඬුවම්


අලු‍ත් නීති එයි

සුජිත් හේවාජුලිගේ

මිථ්‍යාදෘෂ්ටික මත පතුරුවමින් ජනතාව සියදිවි හානි කර ගැනීම් හෝ වෙනත් විෂමාචාර ක්‍රියා සඳහා පොලඹවන ඊනියා දේශකයන් හෝ පුද්ගලයන්ට දැඩි දඬුවම් පැමිණවීම සඳහා නව අණ පනත් සම්මත කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

ජනතාව අතරේ මිථ්‍යා මත පතුරවමින් සියදිවි හානි කර ගැනීම් සඳහා පෙලඹවූ බව කියන මාලබේ දේශකයා සහ ඔහුගේ අනුගාමිකයන් පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා  විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්   පත් කරනු ලැබ සිටිති. මේ කණ්ඩායම් පත්කර ඇත්තේ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතය.
මේ සම්බන්ධයෙන් අප අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙවැනි මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දැනටමත් යම් යම් නීති පවතින බවයි.


එසේම සියදිවි හානි කර ගැනීම සඳහා ප්‍රයත්න දරා බේරෙන පුද්ගලයන් සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන  පවතින බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර ආගමික දේශන පවත්වා මාලබේ ප්‍රදේශයේදී වස පානය කර මියගිය දේශකයා සහ ඔහුගේ අනුගාමිකයන් සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශද විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.


එම දේශකයා අහංගම, පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ රැසකදී  පසුගිය දිනවල දේශන පවත්වා ඇතැයි කියති. මෙම දේශනවලට සහභාගි වූ පුද්ගලයන් සම්බන්ධයෙන්ද වැඩබලන පොලිස්පතිවරයාගේ  උපදෙස් මත විමර්ශන ආරම්භ වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.


රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති මෙම දේශකයා වස වර්ගයක් පානය කර සියදිවි හානිකර ගැනීමෙන් පසු ඔහුගේ බිරිඳ ද සිය දරුවන් තිදෙනාට වස වර්ගයක් ලබාදී තමාද පානය කිරීමෙන් එම සිවු දෙනාම මියගියහ. ඊට පසු දේශකයාගේ අනුගාමිකයන් බව පැවසෙන තවත් තිදෙනෙක් විෂ වර්ගයක් පානය කිරීමෙන් වරින්වර  මරුමුවට පත්වූහ.
මේ අනුව දේශකයාට සම්බන්ධ අට දෙනෙක් මේ වනවිට  සියදිවි හානි කරගෙන සිටිති. මේ අතර මේ පිරිස ශරීර ගත කරගත් විෂ වර්ගය සයනයිඩ්ද නොඑසේ නම් වෙනත් විෂ වර්ගයක්ද යන්න සම්බන්ධයෙන් සොයා ගැනීම සඳහා ඒවායේ කොටස් සහ මියගිය පුද්ගලයන්ගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යවා ඇතැයි පොලීසිය පවසයි.
එම රස පරීක්ෂක වාර්තා අද හෙටම ලැබීමට නියමිතය. මේ අතර මාලබේ දේශකයාගේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.