මැදපෙරදිග රැකියා අහිමි වූ තිස්පන්ද‌ාහක් එන්න හදයි


(උපුල් වික්‍රමසිංහ)  

කොවිඩ් වසංගතය හමුවේ රැකියා අහිමි වීම් ඇතුළු විවිධ පීඩාවන්ට ලක්ව සිටින මැදපෙරදිග කලාපයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 35,000 කට ආසන්න පිරිසක් රටට පැමිණීම සඳහා ඉල්ලුම් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.  

 එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා ඉරිද‌ා ලංකාදීපයට පැවසුවේ මැදපෙරදිග කලාපයේ රටවල් 14ක සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙලෙස රටට පැමිණීම සඳහා ඉල්ලුම් කර ඇති බවත් ඔවුන් ගෙන්වා ගැනීමට අදා‌‌ළ කටයුතු මේ වෙන විට ආරම්භ කර ඇති බවත්ය.  


 රටේ ප්‍රමාණවත් පරිදි නිරෝධායන පහසුකම් නොමැති නිසා එම ශ්‍රමිකයන් ගෙන්වීම ප්‍රමාද වී ඇති බව පවසන ඒ මහතා ඊට අද‌ාළ පහසුකම් සහිත ස්ථාන වෙන් කරවීමේ කටයුතු මේ දිනවල සිදුවෙන බවත් ඔවුන් ගෙන්වීමෙන් පසු නිරෝධායන පහසුකම් කාර්යාංශයේ වියදමෙන් ලබාදෙන බවත් ලබන සතියේ දී එම පිරිසෙන් පළමු කණ්ඩායම වශයෙන් පන්සියයක පමණ පිරිසක් ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය.