මැතිවරණය ඉදිරියට ගෙනයන්න බාධාවක් නෑ ​- ශ්‍රේෂ්ඨාධිකරණය කියයි


පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමුස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරේරාජා මහතා සිකුරාදා කියා සිටියේය.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට බාධාවක් නොවනු ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් දෙකක් සලකා බැලූ අවස්ථාවේ ඉහත නියෝගය නිකුත් කළේය. 
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ලක්මිණි වරුසෙවිතාන සමඟ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටියේය.