මැතිවරණ දිනය නියම කිරීම මේ සතියේ


අජන්ත කුමාර අගලකඩ   

දැනට කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව මේ සතිය මුල දී රැස්වී තීරණය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.   


රජයේ මුද්‍රණාලය, මුදල් අමාත්‍යංශය, පොලිසිය සහ මැතිවරණයට සම්බන්ධ අනෙකුත් ආයතන සමඟ සාකච්ඡා කර එම දිනය තීරණය කරන බව ද ඔහු සඳහන් කළේය. මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීමට කොමිෂන් සභාව ඉකුත් සිකුරාදා (03) රැස්වුව ද අධිකරණයෙන් නිකුත් කළ අතුරු නියෝගය හේතුවෙන් එම දිනය තීරණය කිරීම මේ සතියට කල් දැමුණු බව ද ඔහු සඳහන් කළේය.

මැතිවරණයට මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී ඇති බැවින්, පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට හැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.   


පළාත් පාලන මැතිවරණයට අයවැයෙන් වෙන්කරන ලද මුදල් රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඉකුත් සිකුරාදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.   


මැතිවරණ කොමිෂන් සභාව සිකුරාදා රැස්වී මැතිවරණ දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාව පැවැත්වෙන අතරතුර දී මෙම තීන්දුව ලැබුණු බවත්, ඒ අනුව තීන්දුව ගැනීම මේ සතියට කල් දැමුණු බවත් සභාපතිවරයා කීවේය.   

ලබන නව වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය මුදල් සහ අනෙකුත් පහසුකම් සපයා ගැනීමේ ගැටලු‍ව මත දින නියමයක් නොමැතිව කල් දමනු ලැබීය.   
මේ අතර, පළාත් පාලන සීමා නීර්ණ කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව, සභික සංඛ්‍යාව සහ කොට්ඨාස ගණන අඩු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද ආණ්ඩුව සැලසුම් කර ඇති බැවින්, මැතිවරණය තවත් මාස ගණනකින් කල් යනු ඇතැයි දැනගන්නට තිබේ.   


මේ අතර, පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය 25% ක් කිරීමේ යෝජනාවක් ද පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩුව දැනටමත් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.