මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් මහ ඡන්දයේ තීන්දුව අඟහරුවාදා


මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්  

 

 

(අජන්ත කුමාර අගලකඩ)  

කල් දමනු ලැබූ මහ මැතිවරණය ලබන මස 20 වැනිදා පවත්වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ මස 12 වැනි අඟහරුවාදා රැස්වී තීරණය කරනු ඇතැයි වාර්තා වේ.  


මැතිවරණ කොමිෂන් සභාව 12 වැනිදා දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව කොමිෂන් සභාව වෙනම රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.  

පාර්ලිමේන්තු මැතිවරණය ඉකුත් අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දින නියම කරනු ලැබූවද, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව එය දින නියමයක් නැතිව කල් දැමීය.  


මැතිවරණ කොමිෂන් සභාව පසුව නිකුත් කළ ගැසට් නිවේදනයෙන් මැතිවරණය සඳහා ජූනි මස 20 වැනිදා නියම කර තිබිණි.  


මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් 2 වැනිදා දේශපාලන පක්ෂ ​ලේකම්වරුන් සමග ද සාකච්ඡාවක් පවත්වා ඉන්පසු කොමිෂන් සභාව වෙනම රැස්වුවද මැතිවරණය ජූනි මස 20 වැනිදා පවත්වන්නේද යන්න පිළිබඳ ස්ථිර ප්‍රකාශයක් කර නොතිබිණි.  


මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ මනාප අංක ඉකුත් 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, මැතිවරණ කොමිෂන් සභාව මනාප අංක නිකුත් කිරීම ද කල්දැමීය.