මැතිවරණ ඉල්ලා විපක්ෂය එක්වෙයි


2024 ඔක්තෝබරයට පෙර ජනාධිපතිවරණයත් 2025 අගෝස්තුවට පෙර මහ මැතිවරණයත් ඕනෑ 

අජන්ත කුමාර අගලකඩ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සහ  නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බව පවසමින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කළහොත් ඊට එරෙහිව එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ සියලු‍ පක්ෂ තීරණය කර ඇත.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, උත්තර ලංකා සභාගය, නිදහස ජනතා සන්ධානය යන  පක්ෂ හා කණ්ඩායම් මෙසේ එක්ව  කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.


ලබන වසරේ ඔක්තෝබර් මාසයට පෙර ජනාධිපතිවරණයත් 2025 වසරේ අගෝස්තු මාසයට පෙර මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇති අතර නියමිත පරිදි මැතිවරණය නොපැවැත්වුවහොත් ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සඳහ නීති මඟින් කටයුතු කිරීමට හා මහජන බලයක් ගොඩ නැගීමට එම පක්ෂ හා කණ්ඩායම් තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.


මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය කළ විමසීමකදී අදහස් දැක් දැක්වූ නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට  අභියෝග කිරීමට ආණ්ඩුවට නොහැකි බවය. ආණ්ඩුව අවසන්  උපක්‍රමය ලෙස විධායක  ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියමින්  ජනාධිපතිවරණය ද කල් දැමීමේ උත්සාහයක නිරතව සිටින බව ඔහු කීවේය.


විවිධ උපක්‍රම භාවිත කරමින් පළාත් සභා මැතිවරණය සහ  පළාත් පාලන මැතිවරණය කල් දැමුවා සේ ආණ්ඩුව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයද කල් දැමීමේ උත්සාහයක නිරතව සිටින බව කී හෙතෙම ඊට කිසිසේත් ඉඩ දිය නොහැකි බව සඳහන් කළේය.


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියමින් හා  නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බව පවසමින් ආණ්ඩුව උත්සාහ කරන්නේ සැබෑ  ලෙසම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ නව  මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට නොව මැතිවරණ කල් දැමීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම බවද ඔහු සඳහන් කළේය.


ආණ්ඩුව හිතුවක්කාරී ලෙස ඡන්ද කල් දැමීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමට විපක්ෂයේ සියලු‍ පක්ෂ තීරණය කර ඇතැයි ද මහාචාර්ය  පීරිස් මහතා කීවේය.
මේ   අතර අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නව මැතිවරණ ක්‍රමයකට අදාළ යෝජනාවක්  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තුවට පත්වන  මන්ත්‍රීවරුන් ගණන 225 ලෙසම පවතිද්දී එය පත් කර ගැනෙන ක්‍රමවේදයේ වෙනසක් කළ යුතු බව එමගින් යෝජනා කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 196 දෙනකු මනාප හා අනුපාත ක්‍රමය යටතේ තෝරා ගැනෙන අතර විසි දෙනෙක්  ජාතික ලැයිස්තුවෙන් තෝරා ගැනෙති.


නව මැතිවරණ ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් එකසිය හැට දෙනකු කොට්ඨාස ක්‍රමය යටතේ ද65 දෙනකු අනුපාත සහ ජාතික ලැයිස්තුවෙන්ද තෝරා පත්කර ගත යුතු බවට එමගින් යෝජනා කර ඇත.