මැති ඇමැතිවරුන් තිහකට බාර්,පෙට්‍රල් ෂෙඩ්


පඩියෙන් දිවි ගැට ගහන අය සියයට 25 යි

 සුජිත් හේවාජුලිගේ

මත්පැන් අලෙවිසල් සහ ඉන්ධන පිරවුම්හල් එකක් හෝ ඊට වැඩි ගණනක හිමිකාරිත්වය පවතින මැති ඇමැතිවරුන් තිහකට ආසන්න සංඛ්‍යාවක් සිටින බව වාර්තා වේ. මේ අතර සිය මාසික වැටුපෙන් පමණක් ජීවත්වන මැති ඇමැතිවරුන් සිටින්නේ සියයට 25 ක් පමණක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මන්ත්‍රීවරුන් සියයට හැත්තෑපහකට පමණ ව්‍යාපාර සහ වෙනත් ආදායම් මාර්ග පවතින බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය. 


මේ අතර මන්ත්‍රී වැටුප සුබසාධන කටයුතු වෙනුවෙන් වැය කරන මන්ත්‍රීවරුන් සිටින්නේ ඉතාම ස්වල්ප සංඛ්‍යාවක් පමණක් බව සඳහන් කරන ආරංචි මාර්ග බොහෝ මැති ඇමැතිවරුන් සිය පවුල්වල ඥාතීන් සිය පෞද්ගලික කාර්ය මණ්ඩලවලට පත්කරගෙන ඒ මාර්ගයෙන් ද වැටුප් ලබාගන්නා බව සඳහන් කළේය. 


මන්ත්‍රීවරුන්ගේ මූලික වැටුප රුපියල් 54,285 කි. මෙයට අමතරව කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් ලක්ෂයක දීමනාවක් හිමි වේ. ස්ථාවර දුරකතනයක් හෝ ජංගම දුරකතනයක් සඳහා රුපියල් 50,000 ක දීමනාවක් ද මුද්දර සඳහා වාර්ෂිකව රුපියල් තුන්ලක්ෂ පනස් දහසක දීමනාවක් ද හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 
පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස සිවු දෙනෙකු වෙනුවෙන් වෙනම වැටුප් ද හිමිවනු ඇත.