මැති ඇමැති දේපල හානියෙන් කෝටි 2000කට වැඩි පාඩුවක්


රක්ෂණ සමාගම් ලොකු අර්බුදයක

(සුජිත් හේවාජුලිගේ)  

ප්‍රචණ්ඩකාරීන් මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ නිවාසවලට සහ වාහනවලට ගිනි තැබීම සහ දේපල හානි කිරීම නිසා රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ. 

මේ අතර රක්ෂණය කෙරුණු දේපල සඳහා වන්දි ගෙවීමට එකවර විශාල මුදලක් වැය කිරීමට සිදුවීම නිසා රක්ෂණ සමාගම් බරපතළ ප්‍රශ්නයකට මුහුණදී සිටින බව වාර්තා වේ.  


පසුගිය දිනවල ඇති වූ කලහකාරී සිද්ධීන්වලින් පසු මැති ඇමැතිවරුන් 55 දෙනෙකුගේ නිවාස ගිනිබත් විය.  
එම සිද්ධීන්වලදී වාහන දෙසීයකට වැඩි සංඛ්‍යාවක්ද විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.  


හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත්පාලන නියෝජිත හමුවට පැමිණි නියෝජිතයන් රැගෙන ආ බස්රථවලින් 40ක් පමණ ප්‍රචණ්ඩකාරීන් විසින් ගිනි තබා විනාශ කරනු ලැබ තිබිණ.  


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වාන ප්‍රදේශයේ සුපිරි නිවෙසකට ගිනි තැබීමෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි 200කට ආසන්න බව පැවසේ. යෝෂිත රාජපක්ෂ මහතාට අයත් බව පැවසෙන දෙනියාය ප්‍රදේශයේ හෝටල් සංකීර්ණයකට ගිනි තැබීමෙන්ද එවැනිම පාඩුවක් සිදුවී ඇතැයි පොලිසිය පවසයි.