සුජිත් හේවාජුලිගේ
බැඳුම්කර සිද්ධියට සුදු හුණු ගෑමට සහ එහි තොරතුරු වසන් කිරීමට මත්පැන් සමාගමකින් කෝටි ගණනින් මුදල් ඇතුළු විවිධ වරදාන ලබාගත් බව පැවසෙන හිටපු සහ වර්තමාන මන්ත්‍රීවරුන් දස දෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ පිරිස අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මුල් වකවානුවේදී බැඳුම්කර සිද්ධිය දැඩිව විවේචනය කර ඇති නමුත් මත්පැන් සමාගමෙන් මුදල් ඇතුළු විවිධ වරදාන ලබා ගැනීමෙන් පසු එලෙස විවේචන කිරීම අත්හැර දමා නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළි කරගෙන ඇත.
මත්පැන් සමාගමෙන් එම මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇතැයි පැවසෙන චෙක්පත් ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් සොයාගෙන ඇත.එම චෙක් පත් පිළිබඳ පරීක්ෂණ මෑතක සිට අලුත් වටයකින් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත. බැඳුම්කර සිද්ධිය පිළිබඳව මුලින්ම විමර්ශන පවත්වනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසිනි.
ඔහු එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමෙන් පසු එකී විමර්ශන අඩපණ වූ අතර ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පසුගියදා නැවත පත්කරනු ලැබීය.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාලගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ පිළිබඳ පරීක්ෂණ දිගටම කරගෙන යන බවයි. එම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අර්ජුන මහේන්ද්‍රන් දැනට වෙනත් නමකින් සිංගප්පූරුවේ පදිංචිව සිටින හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීමේ යම් නීතිමය බාධාවක් තිබෙන නමුත් ඔහුට එරෙහිව නඩු පැවරීමේ හැකියාව පවතින බව ඇමතිවරයා සඳහන් කළේය.
බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශන මුල් වකවානුවේදී සක්‍රියව පැවැත්වෙමින්ති බියදී එක්තරා ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම මත එම විමර්ශන යටපත්ව තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.