මන්ත්‍රීවරු විමධ්‍යගත අරමුදල් ඉල්ලති


මේ වසරට කාටවත් ලැබී නෑ

අජන්ත කුමාර අගලකඩ   

එක් එක් දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත අරමුදල් කඩිනමින් ලබාදෙන්නැයි ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ද මැති ඇමතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.


මන්ත්‍රීවරුන් සඳහා පසුගිය වසරේදී රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් විමධ්‍යගත අරමුදල් ලෙස ලැබුණු බවත්, එහෙත් මේ වසරේ එය තවමත් ලැබී නැති බවත් එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත. ඇමතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන් ට සිය ගම්වලට ගොස් සංවර්ධන කටයුතු කිරීමට ඒ ඒ අමාත්‍යාංශවල මුදල් වෙන්කර ගන්නා නමුත් , ආණ්ඩුවේ තනතුරු, වගකීම් නොමැති මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් නොලැබීම නිසා ගම්වල කිසිදු කටයුත්තක් කිරීමට නොහැකි වී ඇතැයි ද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.   
රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව අතරට ගොස් ඔවුන් දැනුවත් කිරීමට මෙය බරපතළ ගැටලු‍වක් වී ඇතැයි ද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.