මන්ත්‍රීන්ට විමධ්‍යගත අරමුදල් එකවර ගෙවීම නවතයි


මුදාහරින්නේ ප්‍රගතිය අනුව

(අජන්ත කුමාර අගලකඩ)   

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන් කෙරෙන විමධ්‍යගත අරමුදල්, සංවර්ධන ව්‍යාපෘති සඳහා අදියර හතරක් යටතේ නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.   


මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සංවර්ධන කමිටු හරහා ඉදිරිපත් කරන ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී ඒවායේ ප්‍රගතිය අනුව මෙම මුදල් නිදහස් කෙරෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි .  

ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා විමධ්‍යගත අරමුදලෙන් සියයට තිහක් පළමුව නිදහස් කෙරෙන අතර, ඉතිරිය අදියර තුනක් යටතේ ලබාදෙන බවද එම ආරංචිමාර්ගවලින් පැවසේ.   


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වසරකට රුපියල් ලක්ෂ 100ක මුදලක් විමධ්‍යගත අරමුදල් යටතේ මීට පෙර ලබාදුන් අතර, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන යෝජනාවකට අනුව එම මුදල මෙවර අයවැයෙන් රුපියල් කෝටි එකහමාර දක්වා වැඩිකර ඇත.   


මීට පෙර විමධ්‍යගත අරමුදල් නිදහස් කිරීම වසර අවසානයේදී සිදුවිය.   


විමධ්‍යගත අරමුදල් අදියර කිහිපයක් යටතේ නිකුත් කිරීම සුදුසු බව ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන අතර, තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ කොටස් වශයෙන් නිකුත් කිරීම හරහා ව්‍යාපෘතිවල කටයුතු ප්‍රමාද වන බව ය.