බහුදින යාත්‍රා 3000 ක් වරායවල ගැටගහලා


තෙල් මිල වැඩියි :මුහුදු යන්න බෑ මාළු මිල අහසට 

  • ඩීසල් හා භූමිතෙල් ලීටරය රුපියල් 200ට වත් දෙනවානම් මාළු මිල අඩු කළ හැකියි
  • බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය කියයි

ගුණසිංහ හේරත්

ඩීසල් මිල දරාගත නොහැකි නිසා රට පුරා තිබෙන බහුදින ධීවර යාත්‍රා 3000ක් මුහුදු නොගොස් ධීවර වරායන්වල ගැට ගසා තිබෙන බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා හෙළි කරයි.


ඩීසල් ලීටරයක මිල රුපියල් 115 සිට 308 දක්වා ඉහළයාම නිසා මාළු අල්ලන්නට යන වියදම සියයට 166කින් ඉහළගොස් තිබෙන බවද ලේකම්වරයා කියයි. 

වියදම එසේ ඉහළ යාම නිසා බෝට්ටු මුහුදු නොයාම හේතුවෙන් මාළු නිෂ්පාදනය පහත වැටීමෙන් මාළු මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් තිබෙන බවද හෙතෙම පෙන්වා දෙයි.


මාළු මිල ජනතාවට දරාගත හැකි මට්ටමකට ගෙන ඒමට නම් ඩීසල් හා භූමිතෙල් ලීටරය රුපියල් 200 බැගින්වත් මිලදී ගැනීමට හැකිවිය යුතු බවද ප්‍රනාන්දු මහතා කියයි.
තෙල් මිල එසේ පහළ ගියොත් දැනට මුහුදු නොගොස් වරායන්වල ගැට ගසා තිබෙන බෝට්ටු යළි මාළු ඇල්ලීමට මුහුදු යන බව නිසැක බවද ඒ මහතා කියයි.
ඩීසල් හා භූමිතෙල් මත පනවා තිබෙන බදු ධීවරයන් වෙනුවෙන් පමණක් ඉවත් කළ හැකි නම් ධීවරයන්ට ඩීසල් හා භූමිතෙල් ලීටරය රුපියල් 200කට හෝ ඊට ටිකක් වැඩි ගණනකට ලබාදිය හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.


රටේම තිබෙන්නේ ධීවර වරායන් 22ක් පමණක් බව කියන ප්‍රනාන්දු මහතා ඒ ධීවර වරායන්වල පිහිටි පිරවුම්හල් මගින් ධීවරයන්ට ඉන්ධන සහනයක් දීමේ වැඩ පිළිවෙළ පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි බවද පෙන්වා දෙයි. 


ෂී සෙල්ස් දිවයිනේ බෝට්ටුවකට තෙල් ලීටර් 10,000ක් පුරවා ගත්තොත් මුදල් ගෙවිය යුත්තේ ඉන් 5,000කට පමණක් බව කියන ප්‍රනාන්දු මහතා මාලදිවයින් රජයද ධීවරයන්ට ඉන්ධන සඳහා සියයට 50ක සහනාධාරයක් ලබා දෙන බවද පෙන්වා දෙයි.