බස්නාහිර පළාතට ඇතුළුවීමේ - පිටවීමේ සීමා


(අජන්ත කුමාර අගලකඩ)   

සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා වලට හැර, බස්නාහිර පළාතට ඇතුළුවීම සහ පිටවීම තහනම් කිරීමට රජය තීරණය කර ඇත. 

 
මේ දිනවල පැතිර යන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය අනෙකුත් පළාත් වලට ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා කොවිඩ් මර්දන කමිටුවේ දී ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.   


කොවිඩ් මර්දන කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (13) පෙරවරුවේ රැස්වූ අතර, ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා වහා පියවර ගන්නැයි සෞඛ්‍ය බලධාරීන් ජනාධිපතිවරයාගෙන් එහිදී ඉල්ලීමක් කර ඇත.   

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති බැවින්, සති කිහිපයකට හෝ වසා දමන්නැයි සෞඛ්‍ය අංශ එහිදී ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.   


ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයට ගොදුරු වී ඇති රෝගීන් වැඩිම පිරිස බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බැවින්, රට වසා තැබීමට නොහැකි නම් බස්නාහිර පළාත සති කිහිපයකට හෝ වසා දමන්නැයි සෞඛ්‍ය අංශ එහිදී පෙන්වා දී ඇතැයි වාර්තා වේ .   


 එසේ වුවද රට වසා දැමීමක් නොකරන බවත්, සියලු‍ දෙනාටම එන්නත්කරණය කඩිනමින් කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.