බන්දුල ඩොලර් ඉල්ලුවාම මහ බැංකුව බෑ කියයි


අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් මුදා ගැනීම

  • ජනවාරි මැද ​ෙවනතුරු ඩොලර් නෑ
  • විධිමත් ඉල්ලීමක් කළොත් සලකා බලන්න පුළුවන්-- මහ බැංකු අධිපති

 

(අජන්ත කුමාර අගලකඩ)   

ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1500ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා මේ මොහොතේ ඩොලර් නිකුත් කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.  

එම කන්ටේනර් නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් කෝටි දෙකහමාරක පමණ ප්‍රමාණය ලබන මස මැද දී පමණ ලබා දිය හැකි බව ද මහ බැංකුව වෙ​ෙළඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.   


වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1200 ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා ඇ​ෙමරිකානු ඩොලර් කෝටි දෙකහමාරක පමණ මුදලක් ආනයනකරුවන්ට බැංකු හරහා නිකුත් කරන්නැයි වෙළෙඳ අමාත්‍යාංශය මහ බැංකුවෙන් මීට සති දෙකකට ඉහතදී ලිඛිත ඉල්ලීමක් කර තිබිණි. වෙ​ෙළඳ අමාත්‍යංශය එම ඉල්ලීම කළේ එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා හමුවී කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.   


 එම ඩොලර් ප්‍රමාණය නිදහස් කිරීමට මහ බැංකුව මුලදී එකඟතාව පළ කර තිබූ නමුත් ඒවා පසුගිය සතිය වන විටත් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් විමසීමට ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මහ බැංකුවට ඉකුත් බ්‍රහස්පතින්දා ගොස් එහි අධිපතිවරයාද හමුවී සාකච්ඡා කර ඇති අතර, එම ඩොලර් ප්‍රමාණය මේ මොහොතේ නිදහස් කිරීම අපහසු බව මහ බැංකු නිලධාරීන් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.   


ලබන මාසයේ ගෙවීමට ඇති ඇ​ෙමරිකානු ඩොලර් කෝටි 50 ක විදේශ ණය වාරික ගෙවීමට මහ බැංකුව ප්‍රමුඛතාව දී කටයුතු කරන බැවින්, කන්ටේනර නිදහස් කිරීමට මේ මොහොතේ ඩොලර් නිදහස් නොකරන බව බව දැනගන්නට ඇත.  


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තොරතුරු දත්ත ඇතිව ඉල්ලීමක් කළහොත් එය ඉටුකරදීමට කටයුතු කරන බවය. 

 
වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සමග මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැති නමුත් සාකච්ඡාවේ තොරතරු ඉදිරිපත් කිරීමට තමා සූදානම් නැති බවද ඔහු කීවේය.