පොහොර ප්‍රශ්නයෙන් ආණ්ඩුව රත්වෙයි


(අජන්ත කුමාර අගලකඩ) 

රට පුරා බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති, ගොවීන්ගේ පොහොර ප්‍රශ්නය විසඳීමට වහා මැදිහත් වන්නැයි ඇමතිවරුන් ගණනාවක්  ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා පැවති කැබිනට් රැස්වීමේ දී ද ඇමතිවරුන් ගණනාවක් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ. 


වාසුදේව නානයක්කාර, මහින්ද අමරවීර, විමල් වීරවංශ, එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනකුම ගොවීන්ගේ පොහොර අර්බුදය බරපතළ බව කැබිනට් රැස්වීමේ දී පෙන්වා දී ඇත. 

පොහොර නොමැතිවීමෙන් ගොවීන් බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති බවත්, ඒ සඳහා වහා මැදිහත් වීමක් නොකොළොත් රජයට ද එය අවාසිදායක වන බවත් ඔවුන් පෙන්වා දී ඇත. 
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා රට කාබනික පොහොර වගාවට යොමු කිරීමේ තීරණය ගත්තේ රටේම හෙට දවස වෙනුවෙන් බවත්, එය ජනප්‍රිය තීන්දුවක් නොවන බව තමා දන්නා බවත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. 
තමාට ද අවශ්‍ය නම් ජනප්‍රිය තීන්දු ගෙන පොහොර ආනයනය කර දිය හැකි බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි දැනගන්නට තිබේ . 


 මේ අතර, අදහස් දක්වා ඇති කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා මහ කන්නයට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බව පෙන්වා දී ඇත . 


 එබැවින් ගොවීන්ගේ ගැටලු‍වට කඩිනමින් විසඳුමක් ලැබෙන බව ඇමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. 
මේ අතර, ගොවීන් මුහුණ දී ඇති අර්බුදය හමුවේ නිශ්චිත කාලයකට හෝ ගොවීන්ට රසායනික පොහොර ලබාදෙන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හතළිස් දෙනකුගේ අත්සනින් යුත් ලිපියක් ද ජනාධිපතිවරයා වෙත ඉකුත්දා යවනු ලැබීය.