පොලිස්-බන්ධනාගාර ලොක්කන් පිරිසකට පාතාලෙන් පඩි


බුද්ධි අංශයෙන් රජයට වාර්තාවක්

සුජිත් හේවාජුලිගේ 

පාතාලකරුවන්ට, අපරාධකරුවන්ට රැකවරණ දෙන විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්, පොලිස්  නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් දෙදහසකට ආසන්න පිරිසක් පිළිබඳව  තොරතුරු අනාවරණය වී ඇතැයි  බුද්ධි අංශ රජයට බාරදී ඇති වාර්තාවක සඳහන් වේ. මේ අයගේ රැකවරණ සැලසීම නතර කරනතුරු පාතාලය මර්දනය  කිරීම දුෂ්කර බවද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. පාතාලකරුවන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අවස්ථාවන්හිදී ඒ අය නිදහස් කර ගැනීමට  විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් මැදිහත්වූ අවස්ථා  තිහකට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඇතැම් දේශපාලනඥයන්ට ඥාති සබඳතා පවතින පාතාලකරුවන්ද සිටින බව පවසන එම ආරංචි මාර්ග, මේ අයට එම දේශපාලනඥයන්ගෙන් ඉහළ රැකවරණයක් ලැබෙන බව පෙනී යන්නේයැයිද සඳහන් කළේය.


රැකවරණය සැලසීම වෙනුවෙන් ඇතැම් පාතාල කණ්ඩායම් සමහර පොලිස් නිලධාරීන්ට  සහ  බන්ධනාගාර නිලධාරීන්ට මාසිකව වැටුප් ගෙවන බවද එම ආරංචි මාර්ග අනාවරණය කරයි.


මේ අතර, පාතාලකරුවෝ දෙසීයකට වැඩි පිරිසක් දැනට විදේශයන්ට පලා ගොස් සිටිති. මේ අයට හොර රහසේ විදේශයන්ට පලායෑම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් උදව් කර ඇති බවටද බුද්ධි අංශ වාර්තාව  පෙන්වා දෙයි.


පාතාලකරුවන් වැඩි පිරිසක් පලා ගොස් සිටින්නේ ඩුබායි, අබුඩාබි, ප්‍රංශය යනාදී රටවලටය. මින් පාතාලකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය දැනටමත් රතු නිවේදන නිකුත් කර ඇත.


ඩුබායි සහ ප්‍රංශයේ සිටින පාතාලකරුවන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරඹා ඇතැයි  මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේය.


පාතාලකරුවන්ට රටින් පලායෑම සඳහා උදව් කරන ධීවර යාත්‍රා හිමිකරුවන් පිරිසක් පිළිබඳවද  බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇත. ඒ අය පිළිබඳවද මේ දිනවල සෙවිල්ලෙන් පසුවන බව පොලිස් ප්‍රධානියෙක් ඉරිදා ලංකාදීපයට පැවසීයි.