පුංචි ඡන්දය තවමත් අඩමානයි ?


අජන්ත කුමාර අගලකඩ

පළාත් පාලන මැතිවරණය අවසන් මොහොතේ හෝ කල් දැමීමේ සූදානමක ආණ්ඩුව තවදුරටත් නිරතවී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මැතිවරණය  සඳහා නාම යෝජනා කැඳවීම ලබන 18 ත් 21ත් අතර දිනවල සිදු කිරීමට මැතිවරණ  කොමිෂන් සභාව තීරණය කර ඇත. 

නාමයෝජනා කැඳවීමෙන් අනතුරුව ආණ්ඩුව මැතිවරණය කල් දැමීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග මාර්ගවලින් පැවසේ.


මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වාතාවරණයක් රට තුළ තිබෙන බවට හා මුදල් නොමැති බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් දිගින් දිගටම  ඉදිරිපත් වන තර්ක මැතිවරණය කල් දැමීමට ඇති සූදානම පෙන්නුම් කරන්නක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


ඒ අනුව ආණ්ඩුව අන්තිම මොහොතේ පනත් කෙටුම්පතක් හෝ ඉදිරිපත් කර මැතිවරණය කල් දැමීමට ඉඩ ඇති බව ඔවුහු සඳහන් කරති.


මේ අතර, මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට කොමිෂන් සභාව උපරිම ලෙස කැප වී සිටින බවය.


පළාත් පාලන මැතිවරණය පැවැත්වීම  සම්බන්ධයෙන් කොමිෂන්  සභාව තුළ බෙදීමක් ඇති බවට පෙන්වීමට ඇතැමුන් උත්සාහ කළ ද, මැතිවරණය ප්‍රකාශයට පත් කළේ කොමිෂන් සභාවේ සාමාජිකයන් සියලු‍ දෙනාගේ පොදු එකඟතාව මත බව ද ඔහු සඳහන් කළේය.
මැතිවරණය පැවැත්වීමට මුදල් ලැබී ඇත්දැයි කළ විමසීමක දී ඔහු සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් තවමත් ලැබී නොමැති බවය.


කෙසේ වුවද  නාමයෝජනා කැඳවීමෙන් පසුව, අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලැබෙනු ඇතැයි  බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.


පළාත් පාලන  මැතිවරණය පැවැත්වීමට සියලු‍ම කටයුතු සැලසුම් කර ඇතැයි ද නීතිඥ පුංචිහේවා මහතා සඳහන් කළේය.