පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කෙරේ ?


අජන්ත කුමාර අගලකඩ

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.


අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් අඟහරුවාදා (06) පැවැති 


රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

දිගින් දිගටම කල්යමින්  තිබෙන  පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ලකුණක් හෝ දක්නට නොලැබෙන බැවින්, නාමයෝජනා අවලංගු කර මැතිවරණය කැඳවූ පසුව නැවත නාමයෝජනා කැඳවීම වඩාත්  සුදුසු බව උපදේශක කාරක සභාවට සහභාගි වූ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ද පෙන්වා දී ඇත.


ඒ අනුව, පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට කඩිනමින්  ගෙන ඒමට දේශපාලන පක්ෂ නියෝජිතයන් එහිදී  තීන්දුවකට පැමිණ ඇත.
පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක්  තෝරා ගැනීම වෙනුවෙන් ඉකුත් අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබූ අතර, ඒ සඳහා අපේක්ෂකයෝ 80,672 දෙනෙක්  ඉදිරිපත් වී සිටිති.
මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා මෙම පිරිස ඉදිරිපත් වී සිටිති.
පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා බාර දුන් පිරිස අතර රාජ්‍ය සේවකයෝ තුන්දහසක පමණ පිරිසක් ද සිටිති.


මැතිවරණ ඉකුත් මාර්තු මස  09වැනි දා පැවැත්වීමට මුලින් තීරණය කළ අතර පසුව එය  අප්‍රේල් මස 25 වැනි දා පැවැත්වීමට තීරණය කළ නමුත්, මැතිවරණය  පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් කොමිෂන් සභාව විසින් මැතිවරණය  දින නියමයක් නැතිව කල් දමනු ලැබීය.


මේ හේතුවෙන් මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම ද බරපතළ ගැටලුවක් වූ අතර, ඔවුන්ට  මේ වන විට මූලික වැටුප් පමණක් ගෙවීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.


එමෙන්ම, ඔවුන් කළින් සේවය කළ කොට්ඨාසවල නොව යාබද  කොට්ඨාසවලට මාරු කර ඇති අතර, නාමයෝජනා අවලංගු කළහොත්, ඔවුන්ට  කළින් සිටි තැන්වලම සේවය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.
මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය කළ විමසුමකදී පිළිතුරු දුන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමෙන් අපේක්ෂක නාමයෝජනා අවලංගු කිරීමේ හැකියාව තිබෙන බවය.


එසේ වුවහොත් ඔවුන් විසින් තැන්පත් කරන ලද, ඇප මුදල් ද ආපසු ගෙවීමට සිදුවන බව ඔහු සඳහන් කළේය.
මෙය පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවකින් පමණක් කළ නොහැකි බවත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවත් හෙතෙම සඳහන් කළේය.


මේ අතර, මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැතැයි කී හෙතෙම අධිකරණයෙන් ලැඛෙන තීන්දුව මත හෝ රජයෙන් මුදල් ප්‍රතිපාදන ලැබෙන දිනය අනුව මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය වනු ඇති බව සඳහන් කළේය.