පුංචි ඡන්දයට බලපාන අලුත් පනත් දෙකක්


සංශෝධන ආවොත් පුංචි ඡන්දය තවදුරටත් කල්යයි

අජන්ත කුමාර අගලකඩ   

පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන දෙකක් ඉදිරි කාලයේ දී ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


පළාත් පාලන ආයතන සඳහා තරුණ නියෝජනය සියයට 25 ක් කිරීම සහ ඡන්දයෙන් තෝරාගන්නා සභිකයන් ගණන අටදහසේ සිට පන්දහසක් පමණ දක්වා අඩු කිරීම යන සංශෝධන ඉදිරි කාලයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි එම ආරංචිමාර්ගවලින් පැවසේ.

මේ අතර, පළාත් පාලන ආයතනවල සභිකයන් ගණන අඩු කිරීම සහ කොට්ඨාස ගණන අඩු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටුවේ වාර්තාව ලබන මාසයේදී ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතය.   


ඒ අනුව සභිකයන්ගේ ගණන අඩු කිරීම සහ කොට්ඨාස ගණන අඩු කිරීම සම්බන්ධයෙන් වන සංශෝධනය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි දැනගන්නට ඇත.   
තරුණ නියෝජනය සියයට 25 ක් කිරීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පදනම් කරගනිමින් සකස් කෙරෙන පනත් කෙටුම්පත ද ඉදිරි කාලයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ.   


පළාත් පාලන මැතිවරණය ලබන මස 9 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇති නමුත්, මුදල් නොලැබීම හා පහසුකම් ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් එදිනට මැතිවරණය පැවැත්විය නොහැකි බව කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ද දැනටමත් දැනුම් දී ඇත.   


ඒ අනුව පළාත් පාලන මැතිවරණය ලබන 9 වැනිදා පැවැත්වීමට නොහැකි වන අතර, පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන ගෙන ඒම හේතුවෙන් එය තවදුරටත් කල් යනු ඇතැයි ද වාර්තා වේ.