පුංචි ඡන්දය කල් යයි?


අජන්ත කුමාර අගලකඩ

පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ කතාබහක් ඇතිව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.   


මැතිවරණය කල් දමා, පළාත් පාලන ආයතනවල සභිකයන් සංඛ්‍යාව අඩකින් පමණ අඩුකර, මැතිවරණය පැවැත්වීම සුදුසු බවට මැති ඇමැතිවරුන් පිරිසක් යෝජනා කර ඇති බව දැනගන්නට ඇත.

මැතිවරණය කල් දැමුවහොත් ඒවායේ පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පැවරෙනු ඇතැයි දැනගන්නට ඇත.   
කෙසේ වුවද මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව තවමත් අවසන් තීරණයක නොමැති බවද දැනගන්නට ඇත.   


ඉකුත් 2018 වසරේ පෙබරවාරි මස 18 වැනිදා පැවති මැතිවරණයෙන් පිහිටු වූ පළාත් පාලන ආයතනවල නිල කාලය පසුගිය මාර්තු මස 20 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබූ අතර, ඒවායේ නිල කාලය වසරකින් කල් දමනු ලැබිණි.   


ඒ අනුව පළාත් පාලන මැතිවරණය පවත්වා ලබන වසරේ මාර්තු විසි වැනි දාට පෙර, පළාත් පාලන ආයතනවල සභා පිහිටුවිය යුතුය.   
මේ අතර, පළාත් පාලන මැතිවරණය කල් දැමුවහොත්, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ සියලු‍ පක්ෂ මේ වනවිට සැලසුම් කර ඇත.