පැල්වත්ත, සෙවණගල සීනි කිලෝවකින් රුපියල් 50ක් පාඩුයි


ආයතන දෙක 2024 දී රුපියල් බිලියන 1.8 ක පාඩුවක් ලබලා

 

සීනි කර්මාන්තය ආශ්‍රිතව රැකියා කරන ලක්ෂ දෙක හමාරකට බලපෑම්

 

සියයට 18ක වැට් බද්ද ඉවත් නොකළොත් කර්මාන්තය අනතුරේ

උපුල් වික්‍රමසිංහ

ලංකා සීනි (පෞද්ගලික) සමාගම යටතේ පවතින පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්තශාලා ඒවායෙහි නිපදවන දුඹුරු සීනි කිලෝවක් අලෙවියෙන් රුපියල් 50 ක පමණ පාඩුවක් ලබන බව එම ආයතනවලට සම්බන්ධ ආරංචි මාර්ග හෙළි කරයි. එම කර්මාන්තශාලාවලින් සීනි කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 286 -290 අතර මුදලක් වැය වුව ද සීනි කිලෝවක් වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන්නේ රුපියල් 235-240 අතර මිලකට බව ද අදාළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

දේශීය සීනි නිෂ්පාදනය මත සියයට 18 ක එකතු කළ අගය මත බද්ද (වැට්) ක්‍රියාත්මක වීම, එතනෝල් මිල ගණන් පහළ යෑම සහ වෙළෙඳපොළේ සීනි අලෙවිය පහළ යෑම යන හේතු මත එම ආයතන දෙකෙහි මූල්‍ය කාර්යසාධනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව එම ආරංචි මාර්ග පවසයි. 

සෙවණගල සීනි සමාගම 2024 වසරේ දී පමණක් රුපියල් බිලියනයකට ආසන්න පාඩුවක් ලබා ඇති අතර පැල්වත්ත සමාගම මිලියන 800 ක පාඩුවක් වාර්තා කර ඇත.

සීනි මත අය කරනු ලබන වැට් බද්ද ඉවත් කිරීම, දුඹුරු සීනි සඳහා රුපියල් 250 ක පමණ පාලන මිලක් පැනවීම වැනි ක්‍රියාමාර්ග වලින් මෙම ආයතන දෙකෙහි සීනි අලෙවිය ඉහළ නංවාගත හැකි බව ද අදාළ ආරංචි මාර්ග පෙන්වා දෙයි. 

එම සමාගම්වල තවත් ආදායම් මාර්ගයක් වන එතනෝල් ලීටරයක මිල රුපියල් 1,100 මට්ටමේ සිට මේ වන විට රුපියල් 560 දක්වා පහත වැටී තිබීමෙන් එතනෝල් අලෙවියෙන් ලැබෙන ආදායම් අඩු වී ඇති බවත් එතනෝල් ලීටරයකට රුපියල් 800 ක පමණ පාලන මිලක් පැනවීමෙන් එම කර්මාන්තය ආරක්ෂා කර ගත හැකි බවත් එකී ආරංචි මාර්ග සඳහන් කරයි.

ලක්ෂ දෙක හමාරත් තුනත් අතර පිරිසක් සීනි කර්මාන්තය ආශ්‍රිතව ඍජු හා වක්‍ර රැකියාවල නිරත වන බව ද වැට් බදු පැනවීම ආදී විවිධ හේතු මත දේශීයව නිපදවෙන සීනි හා එතනෝල් අලෙවිය පහළ යෑමෙන් එම පිරිස බලපෑමට ලක්විය හැකි බව ද එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්‌යේෂණ දෙපාර්තමේන්තුව විසින් කෘෂිකාර්මික අංශයේ 2025 ජනවාරිවලට අදාළව නිකුත් කරනු ලැබ ඇති වාර්තාවෙහි සඳහන් දත්තවලට අනුව, 2023 දී ආනයනය කර ඇති මුළු සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 652,876 කි. 2024 එම අගය මෙට්‍රික් ටොන් 582,906 කි.

එසේම 2023 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා වූ කාලයේ දී, දේශීයව නිපදවා ඇති මුළු සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 66,177 කි. 

2024 වසරේ සමාන්තර කාලයේ දී එසේ නිෂ්පාදනය කර ඇති සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 79,986 කි. එම දත්ත විශ්ලේෂණය කිරීමේ දී පැහැදිලි වන්නේ, 2023 වසරට සාපේක්ෂව 2024 දී දේශීය සීනි නිෂ්පාදනය සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති බවය.