පාතාලයෙන් පඩි ගන්න පොලිසියේ 200ක් බුද්ධි අංශ විමර්ශන අරඹයි


  • පාතාලය සමග හාදකම් පැවැත් වූ පොලිසියේ 1000 ක් නෙරපලා

සුජිත් හේවාජුලිගේ

පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් වැටුප් ගන්නා බවට තොරතුරු ලැබී ඇති පොලිස් නිලධාරින් 200කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශ විමර්ශන ආරම්භ කර ඇත.

මෙරට පාතාලය හා බැඳුණු ක්‍රියාකාරීන් දෙදහසකට ආසන්න පිරිසක් සිටින බව රජයේ බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බැව් කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් මෑත භාගයේදී සේවයෙන් නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල “ඉරිදා ලංකාදීප”යට පැවසීය.

පාතාලකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට තොරතුරු හෙළිවූ පොලිස් නිලධාරීන් හය දෙනකු සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකිරීමට - පොලිස් විමර්ශන අංශයට අදාළ තොරතුරු ඉකුත් සතියේ යොමු කළ බව ද ඔහු සඳහන් කළේය.

පාතාලය  සහ විවිධ ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වී කටයුතු කරන පොලිස් නිලධාරීන් ගැන සෙවීමට බුද්ධි අංශ යොදවා ඇතැයි පැවසූ අමාත්‍යවරයා, මෙලෙස ලැබුණු බුද්ධි තොරතුරු මත කල්පිටිය ඇතුළු ඇතැම් පොලිසිවල සියලු‍ නිලධාරීන් පසුගිය දිනවල මාරු කළ  බවද ප්‍රකාශ කළේය.

පාතාලය  සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට මෙවැනි දූෂිත නිලධාරීන් බාධාවක් බව ආනන්ද විජේපාල  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර පාතාලකරුවකු සමග සබඳතා පැවැත් වූ බවට එල්ලවූ  චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු අණ දෙන නිලධාරී සහ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය බ්‍රහස්පතින්දා පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර  ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

එසේම ඔහු  කිසියම් විමර්ශනයක් පවත්වන ලෙසට ඉල්ලීම් කර ඇති අතර, එම විමර්ශනය පැවැත්වීමට ද තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.