නීති කඩා රජයේ ආයතනයකට අලුත් පත්වීම්


මන්ත්‍රී ලියුමට රැකියා දෙක බැගින්

අජන්ත කුමාර අගලකඩ   

රජයේ ආයතනවලට සේවකයන් බඳවා ගැනීම මුදල් අමාත්‍යාංශය විසින් අත්හිටුවනු ලැබ තිබියදී ප්‍රධාන පෙළේ අමාත්‍යාංශයකට අයත් අධිකාරියකට ආරක්ෂකයන් හා රියැදුරන් විශාල පිරිසක් බඳවා ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.


එසේ බඳවා ගනු ලබන සේවකයන් අතරට, නම් දෙක බැගින් එවන ලෙස අදාළ අධිකාරිය අයත් අමාත්‍යාංශය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට දැනුම් දී ඇතැයි ද එම ආරංචි මාර්ග වලින් පැවසේ.

එම අධිකාරියේ දැනටද ඉතා විශාල සේවක පිරිසක් අතිරික්තව සිටින බව ද දැනගන්නට ඇත. එසේ තිබියදී මේ ආකාරයට අලු‍තින් සේවකයන් බඳවා ගැනීම බරපතළ ගැටලු‍වක් බව එම ආයතනයේ සේවකයෝද සඳහන් කරති.   


රට මුහුණ දී ඇති බරපතළ ආර්ථික අර්බුදය හමුවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතනවල වියදම් දැඩි ලෙස සීමා කර ඇති අතර, ඒවායේ බඳවාගැනීම් ද මුදල් අමාත්‍යාංශය විසින් අත්හිටුවනු ලැබ ඇත.