නසීර්ට දුන් තීන්දුවෙන් පනින මන්ත්‍රීලා කැළඹෙති


අජන්ත කුමාර අගලකඩ

පරිසර ඇමති නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපා හැරීමට පක්ෂය ගත්  තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  තහවුරු කිරීමත් සමඟ, පාර්ලිමේන්තුවේ පක්ෂ මාරු කර ඇති සහ මාරු කිරීමට අපේක්ෂාවෙන් සිටින මැති ඇමතිවරුන් දැඩි කැලඹීමකට පත්ව ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් ගණනාවක් සිය පක්ෂවලින් කැඩීගොස්, ආණ්ඩුවට සහ විපක්ෂයේ වෙනත් වෙනත් කණ්ඩායම්වලට එක්ව සිටින අතර, නසීර් අහමඩ් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඔවුන්ගේ ඉදිරි දේශපාලන කටයුතුවලට ද බාධාවක් විය හැකිය යන්න සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුවී ඇතැයි දැනගන්නට ඇත.


පාර්ලිමේන්තුවට  පසුගිය වසරේ ඉදිරිපත් කළ අයවැයට විරුද්ධව ඡන්දය දීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීන්දු කර තිබියදී නසීර් අහමඩ් මහතා පක්ෂයේ තීන්දුවට පිටින් ගොස් ආණ්ඩුවට එක්ව අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර, ඒ හේතුවෙන් ඔහු  පක්ෂයෙන් නෙරපා හරිනු ලැබීය.


පක්ෂයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ නසීර් අහමඩ් මහතා තමා  පක්ෂයෙන් නෙරපා හැරීම වළක්වලන ලෙස ඉල්ලා සිටි නමුත්, ඔහු  පක්ෂයෙන් නෙරපීම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළේය. 


ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුව ඔහුගේ පක්ෂය විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත  යොමු කරනු ලැබීමෙන් පසුව ඔහුගේ මන්ත්‍රි ධුරයද අහිමි වන අතර, ඔහුගේ පරිසර අමාත්‍ය ධුරයද ඔහුට අහිමි වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.


ඒ හේතුවෙන් ඇතිවන පුරප්පාඩුවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් අලු‍තින් සාමාජිකයකු පත් කිරීමට එම පක්ෂයට අවස්ථාව ලැබෙන බව ද ඔවුහු  සඳහන් කරති.
මෙවර අයවැයේ දී ද පක්ෂයේ තීන්දුවට පිටින් ගොස් පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දීමට බලා සිටින මැති ඇමතිවරුන්ට ද මෙම තීන්දුව යම් බලපෑමක් එල්ල කරනු ඇතැයි නීති විශාරදයෝ පෙන්වා දෙති.