නීති සම්මත කර වසර දෙකයි: ආයෝජන මණ්ඩල අහෝසි යෝජනාව තවම යට ගහලා


විදෙස් ආයෝජන සඳහා තනි කවුළුවක් ලෙස සේවා සපයන්නත් ආයෝජන මණ්ඩලය අසමත් වී ඇති බව ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව කියයි 

උපුල් වික්‍රමසිංහ

වසර 2024 දී සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනතෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අහෝසි කර ඒ වෙනුවට වෙනත් ආයතන පහක් පිහිටුවීමට නීතිමය ප්‍රතිපාදන සලසා ඇතත් වසර දෙකකට වැඩි කාලයක් ඉක්ම ගියද ආයෝජන මණ්ඩලය මෙතෙක් අහෝසි කර නැත.

2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනතෙන් ආයෝජන මණ්ඩලය අහෝසි කර ඒ වෙනුවට පිහිටුවීමට නීතිමය ප්‍රතිපාදන සලසා ඇති ආයතන වන්නේ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය, ජාතික නිෂ්පාදිතතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික හා ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය යන ඒවාය.

පසුගියදා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙරට ආයෝජන තත්ත්වය පිළිබඳ වාර්තාවක් (2026 Sri Lanka Investment Climate  Statement) ද නිකුත් කරනු ලැබ තිබූ අතර එයින් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමෙහිලා ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ප්‍රායෝගික ගැටලු ගැනත් ගිවිසුම්ගත ඇතැම් විදේශ ආයෝජන ආරම්භ කිරීම ප්‍රමාද කිරීම ගැනත් තොරතුරු දක්වා තිබේ. චීනයේ සයිනොපෙක් ආයතනය විසින් හම්බන්තොට ප්‍රදේශයේ ඩොලර් බිලියන 3.5 ක වටිනාකමක් සහිත තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ශ්‍රී ලංකා රජය සමග ගිවිසුම්ගතව ඇතත් එම කටයුතු මෙතෙක් ආරම්භ නොකිරීම ගැනත් එම වාර්තාවේ තොරතුරු ඇතුළත් වේ.

විදේශ ආයෝජන සඳහා තනි සේවා සපයන ආයතනයක් One-Stop Shop වශයෙන් ක්‍රියාත්මක වීමට ආයෝජන මණ්ඩලය අසමත් වී ඇති බව පෙන්වා දෙන එම වාර්තාව වසර 2025 ජනවාරිවලදී ජනාධිපති අනුර දිසානායක යෝජිත ඩොලර් බිලියන 3.5 ක ආයෝජනයක් සහිත චීන සයිනොපෙක් තෙල් පිරිපහදුවට අදාළ ගිවිසුම් කටයුතු අවසන් කරන බවට සඳහන් කළ ද ශ්‍රී ලංකා රජය සහ සයිනොපෙක් සමාගම අතර අවසන් එකඟතාවක් ඇති නොවීම හේතුවෙන් 2026 වසරේ ජූනි වන විටත් අවසාන ගිවිසුමට අත්සන් තැබීමට නොහැකි වී ඇති බව ද කියයි.

ආයෝජන මණ්ඩලය අහෝසි කරන්නේ ද යන්න සහ අදාළ ඇමෙරිකානු වාර්තාවෙන් මෙරට ආයෝජන ප්‍රගතිය ගැන කර ඇති නිරීක්ෂණ සම්බන්ධයෙන් විමසීමට එම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

මේ අතර යෝජිත තෙල් පිරිපහදුව පිළිබඳ රජයේ ස්ථාවරය විමසීමට බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එයත් ව්‍යර්ථ විය.