දේශපාලනඥයින් දෙසීයක් රට පනී


ගමන් බලපත්‍රත් සූදානම් කරලා

සුජිත් හේවාජුලිගේ

ජනතාවගෙන් එල්ල වෙන  විවිධ විරෝධතා සහ වෙනත් විවිධාකාර ගැටලු‍ හේතුවෙන් දේශපාලනය ගැන කලකිරුණු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් 200කට ආසන්න පිරිසක් මෙරට අතහැර විදේශයන්හි පදිංචියට යෑමට සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

 

ඒ සඳහා සූදානමක් ලෙස සිය රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර පවා පසුගිය දිනවල අලු‍ත් කරවා ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.   


සමහර මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් සිය පක්ෂ නායකයන් සහ ළඟම හිතවතුන් දැනුවත් කර ඇතැයි දැනගන්නට ඇත.   


පවතින අර්බුද හේතුවෙන් ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයන් විශාල පිරිසක් විදේශයන්හි පදිංචියට දැනටමත් ගොස් ඇතැයිද වාර්තා වේ.   


සමහර දේශපාලනඥයන්ගේ දරුවන් විදේශයන්හි ජීවත් වන අතර ඔවුන් දැනටමත් සිය මවුපියන් එම රටවලට ගෙන්වාගෙන ඇතැයි පැවසේ.   


මේ අතර නැවතත් දේශපාලනයට නොඑන බව   මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළහ.   


තමා දුක් මහන්සියෙන් උපයා ගත් සියලු‍ දේපළ ප්‍රචණ්ඩකාරී පිරිසක් විසින් පසුගියදා විනාශ කරනු ලැබූ බවත් ඒ සම්බන්ධයෙන් දැඩි කලකිරීමක් පවතින හෙයින් මින් ඉදිරියට දේශපාලනය කිරීමට බලාපොරොත්තුවක් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවසුවේය.