දූවිලි වළාව මාර්තු තෙක් වරින් වර එයි


සති දෙකකට කලිනුත් ආවා

නිමන්ති රණසිංහ

අහිතකර දූවිලි අංශු සහිත වායු දහරා සුළඟේ වෙනස්වීම අනුව ලබන මාර්තු මාසය තෙක් වරින් වර පැමිණ මෙරට වායු දූෂණ තත්වයන් ඇතිකළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.

මේ හේතුවෙන් ජනතාව බාහිර පරිසරයට නිරාවරණයවීමේදී පරිස්සම්කාරීව කටයුතු කළ යුතු බවද ඔහු පැවසුවේය. 

 
මෙරටට පැමිණෙන මෙම දූෂිත වායු අංශු ප්‍රමාණ ( ගුණාත්මක දර්ශක) වරින් වර අඩු වැඩි වන ස්වභාවයක් පෙන්නුම් කරන බව පැවසූ අධ්‍යක්ෂවරයා මීට සති දෙකකට පෙරද මෙවැනිම අහිතකර වායු තත්ත්වයක් ඇතිවූ බව ප්‍රකාශ කළේය.   


ඉන්දියාවේ සිට පැමිණි සෞඛ්‍යයට අහිතකර දූවිලි අංශු සහිත වායු හේතුවෙන් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 6 ක පාරිසරික වශයෙන් අවදානම්සහගත තත්වයක් මේ වනවිට නිර්මාණය වී පවතින්නේය.   


මේ වායු දූෂණ තත්ත්වය හේතුවෙන් විවිධ ශ්වසන ආබාධ යම් මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.   


ශ්වසන ආබාධ සහිත රෝගීන්, කුඩා දරුවන්, වයෝවෘද්ධ වැඩිහිටියන්, ගැබිනි මවුවරුන් මෙම අහිතකර පරිසර තත්ත්වය සැලකිල්ලට ගෙන හැකිතාක් බාහිර පරිසරයට නිරාවරණය නොවී කටයුතු කළ යුතු බවත් හැකි සෑම අවස්ථාවකම මුව ආවරණ පැලඳීම අතිශයින්ම වැදගත් බවත් සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පෙන්වා දෙති.   


මේ අතර රට පුරා වායුගෝලීය දූවිලි අංශු ප්‍රමාණය සෞඛ්‍යයට අහිතකර ලෙස ඉහළ ගොස් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.   


උතුරු ඉන්දියාවේ වගා බිම්වල අස්වනු නෙළීමෙන් අනතුරුව ඉතිරි වන පසු අස්වැන්න ගිනි තැබීම හේතුවෙන් වායුගෝලයට එකතු වන දූවිලි අංශු සුළඟ හරහා පැමිණීමෙන් මෙරට වායුගෝලයට මෙලෙස අනර්ථකාරී අන්දමින් බලපා ඇතැයි පරිසර විද්‍යාඥයෝ පවසති.   


මේ අහිතකර දූවිලි අංශු ඉන්දියාවේ නව දිල්ලිය නගරයට මෙන්ම පකිස්ථානය ඇතුළු රටවල් රැසක ප්‍රධාන නගරවලට දැඩි ලෙස බලපෑම් ඇති කර ඇත.