තෙල් නැතිව රටම වැසෙයි


ගිලන් රථවලටත් තෙල් නෑ

 අජන්ත කුමාර අගලකඩ

රජය විසින් නිල වශයෙන් තීරණය නො කරනු ලැබුවද, ඉන්ධන අර්බුදය හේතුවෙන් ලබන සතියේ රටම වැසීයාමේ (Lockdown) අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.   

රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අර්බුදය බලපා ඇති බැවින්, ඉන්ධන ආනයනය කරන තෙක්ම මෙම අවදානම් තත්ත්වය පවතිනු ඇති බව ද දැනගන්නට ඇත.   
පොදු ප්‍රවාහන සේවා බස් රථවලට පමණක් නොව, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන ආදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ද නොහැකි මට්ටමට ඉන්ධන අර්බුදය මේ ​ෙවන විට උග්‍ර වී තිබේ.   


එපමණක් නොව, රෝහල්වල ගිලන් රථ සේවා, වෛද්‍ය සැපයුම් සේවා සඳහා ද ප්‍රමාණවත් තරම් ඉන්ධන සැපයීමට නොහැකි තත්ත්වයක් මේ ​ෙවන විට උද්ගතව ඇත.   


අත්‍යවශ්‍ය සේවාවලට රජය විසින් ඉකුත් සතියේ සීමා සහිත ලෙස ඉන්ධන සපයනු ලැබුවද අත්‍යවශ්‍ය සේවා රැසක් ඉකුත් සතියේදී ද අඩාළ වී තිබිණි   
මේ තත්ත්වය තුළ ඉදිරි සතියේ රටේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම බරපතළ අර්බුදයක් වී ඇතැයි දැනගන්නට ඇත.   


ඩීසල් නැවක් ලබන සතියේ ද, පෙට්‍රල් නැවක් ලබන විසි දෙවැනි දා ද මෙරටට පැමිණෙන බව රජය ඉකුත් දා ප්‍රකාශ කළේය.


මේ අතර, ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලදී රටපුරා සිදුවීම් රැසක් ද පෙරේද‌ා (01) වාර්තා විය.
සිකුරාදා දිනයේ සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන ලබා දීමට ඉන්ධනහල් රැසක් වෙන්කර තිබුණ ද වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් ඉන්ධන ලබා ගැනීමට යාමේ දී පෝලිමේ සිටි වෙනත් පිරිස් ඊට බාධා කිරීම හේතුවෙන් ගැටුම්කාරී සිද්ධි ගණනාවක් ඇති විය.


ගාල්ල නගරයේ ඉන්ධන පිරවුම් හලකට ගිය සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන  ලබාගැනීමට නොදී පෝලිමේ සිටි පිරිසක් ඊට බාධා කර ඇති අතර තමන් ද පෝලිමේ සිටින බැවින් තමන්ටද ඉන්ධන ලබා දෙන ලෙස බල කරමින් අපි ඔවුන් කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.


මේ අතර ඉන්ධන නොමැති වීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් හා රියැදුරන්ට සේවයට වාර්තා කිරීමට නොහැකි වීමෙන් දුම්රිය වාර රැසක් ද පෙරේදා දිනයේ අවලංගු කළ අතර, ඒ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.


සේවයට වාර්තා කිරීමට ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලා දුම්රිය රියැදුරන් හා ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත් වීමත් සමඟ කොටුව දුම්රිය ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර, ඔවුන්ට ඉන්ධන ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසුව දුම්රිය සේවකයන්ගේ වෘත්තීය ක්‍රියා​මාර්ගය අත්හිටුවනු ලැබීය.