තෙල්-ගෑස් නොදුන්නොත් පසුපෙළත් සටනට


(අජන්ත කුමාර අගලකඩ) 

ජනතාව මුහුණ දී සිටින ඉන්ධන සහ ගෑස් අර්බුදය විසඳීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව වහාම ඉදිරිපත් කළ යුතු බවට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඉල්ලීමක් කරයි.


ජනතාව මුහුණ දී ඇති අර්බුදය හමුවේ පාරට බහින්නට නොහැකි තත්ත්වයක් තමන්ට ද උදා වී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩුවේ පසුපෙළ කණ්ඩායමේ මන්ත්‍රී සහ ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

අර්බුදය විසදන වැඩපිළිවෙළක් ආණ්ඩුවේ නායකයන් සහ ආණ්ඩුව රටට ඉදිරිපත් කළ යුතු බවත්, හොඳ දේට හොඳයි කීම සහ වැරදි දේට වැරදියි කිම පසුපෙළ කණ්ඩායමේ ප්‍රතිපත්තිය බවත් ඔහු කීවේය.


එසේ නැතිව පසුපෙළ සිටින්නේ ආණ්ඩුවට ප්‍රශස්ති කීමට නොවන බව ද හෙතෙම කීවේය.


ඉන්ධන සහ ගෑස් අර්බුදය හමුවේ රටේ ජන ජීවිතය බරපතළ ලෙස කඩා වැටී ඇතැයි කී මන්ත්‍රීවරයා ජනතාවගෙන් එල්ලවන අපවාදයෙන් බේරීමට ආණ්ඩුවට හැකියාවක් නැතැයි ද සඳහන් කළේය.