තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්


ලුසිත ජයමාන්න


තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙසේ ඉරානයට ප්‍රහාරයක් එල්ල කළේ පසුගිය 13 වැනිදා ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ 
මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසය. 

ඊශ්‍රායල හමුදා එම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේ ඉරානයේ ඉස්ෆහාන් නමැති නගරයටයි. ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක් ඉස්ෆහාන් නගරය අයත් ඉස්ෆහාන් පළාතේ පිහිටා ඇත. ඊශ්‍රායල මිසයිල සහ ඩ්‍රෝන එල්ල වෙද්දී ඊට සූදානමින් සිටි ඉරානය ඔවුන්ගේ මිසයිල ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කළ අතර ඉරාන ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා ගුවන්ගත වී මිසයිල යානා සහ ඩ්‍රෝන යානාවලට ප්‍රති ප්‍රහාර එල්ල කළේය. එහෙයින් ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරානයට බරපතළ හානියක් සිදු නොවිණි. ඊශ්‍රායල ප්‍රහාරය ආරම්භ වෙද්දී, ඉරානයේ තෙහෙරාන් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පවා තාවකාලිව වසා දැමීමට පියවර ගැනුණි.
පසුගිය 13 වැනිදා ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේ, අප්‍රේල් පළමු වැනිදා ඊශ්‍රායලය සිරියාවේ ඩමැස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාලයකට පහර දීමේ සිද්ධියට පළිගැනීමක් වශයෙනි. ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වුණු ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන විප්ලවීය හමුදාවේ හමුදා ප්‍රධානීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම පහරදීම සිදු කරනු ලැබුවේ ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරන බව ඇමෙරිකාවට ද දැනුම් දෙමිනි. 
ඊශ්‍රායලයට එල්ල කළ එම ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාව මෙන්ම ලොව සෙසු සෑම රටක්ම පාහේ ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලා සිටියේ ගැටුම්කාරී තත්ත්වය තවත් උත්සන්න වීමට ඉඩ නොතැබිය යුතු බවය. ඇමෙරිකාව ඊශ්‍රායලයට තරයේ කියා සිටියේ ඉරානයට පහර දෙන්නේ නම් තමන් ඊට සහාය නොදක්වන බවය.
ගාසා තීරයේ පලස්තීනුවන්ගේ ජීවිත අනතුරේ දමමින්, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ ද ඇමෙරිකාවේ සහාය ඊශ්‍රායලයට කොන්දේසි විරහිතව ලැබෙන බැවිනි.
පසුගිය 19 වැනිදා ඊශ්‍රායලය විසින් ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළේ ඇමෙරිකාව දැනුම්වත් කරමිනි. ඉරානයට පහර දීමට තමන් ඊශ්‍රායලය උනන්දු නොකළ බව ඇමෙරිකානු රජය අවධාරණය කර ඇත. ඉරානයට පහර දීමෙන් වළකින ලෙසත්, ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් පහර දීම් සිදු නොකරන ලෙසත් තමන් ඊශ්‍රායලයට පැවසූ බව ද ඇමෙරිකාව වැඩි දුරටත් කියා සිටී. 
ඉරාන - ඊශ්‍රායල අර්බුදය තෙවැනි ලෝක යුද්ධයක් තෙක් දුරදිග ගියහොත් එය න්‍යෂ්ටික යුද්ධයකට පෙරළී, අවසානයේ එය ලෝකය ද විනාශ කරනු ඇතැයි ඇතැම් විදෙස් විශ්ලේෂකයන් අනතුරු හඟවා තිබේ. ලෝකය බල කඳවුරු දෙකකට බෙදී ඇති බැවින් ඉරාන - ඊශ්‍රායල ගැටුම තෙවැනි ලෝක යුද්ධය තෙක් දුර දිග ගියහොත්, ඊශ්‍රායලයට බටහිර බල කඳවුර වන ඇමෙරිකාව සහ සෙසු ‘නේටෝ’ සාමාජික රටවල සහාය හිමි වනු ඇත. ඉරානයට ඇමෙරිකා විරෝධීන් වන රුසියාව, සිරියාව, චීනය, යේමනය පමණක් නොව උතුරු කොරියාවේ ද සහාය සෘජුව හෝ වක්‍රව හිමි වනු ඇතැයි පැවසෙයි.
වසර ගණනාවක් තිස්සේ ඔඩුදුවන ඉරාන සහ ඊශ්‍රායල විරසකය තවත් උත්සන්න වී ඇත්තේ ඊශ්‍රායල හමාස් ගැටුම හේතුවෙනි. ගාසා තීරයේ ඊශ්‍රායල හමාස් ගැටුමට මාස 6 ක් ගත වී ඇත. ඉරානයේ සහාය හිමිවන්නේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහ පලස්තීන මුස්ලිම් වැසියන්ටය. ඊශ්‍රායලය ලොව එකම යුදෙව් රාජ්‍යය වන අතර, ඉරානය ලොව එකම ෂියා මුස්ලිම් රාජ්‍යයයි.