ත්‍රීවීල් ගාස්තු වැඩි කිරීම රියැදුරන්ගේ කැමැත්තට


 

  • පාසල් ළමයින් ප්‍රවාහන ගාස්තු 5% කින්
  • බහාලු‍ම් ප්‍රවාහන ගාස්තුව 5% කින්
  • බස් ගාස්තුව 4.1%කින් නගී

ඉන්දික හේවාවිතාරණ

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව වැඩිවන ත්‍රිරෝද රථ ගාස්තුව ත්‍රිරෝද රථ සංගම් විසින් තීරණය නොකරනු ලබන බවත්, එම ගාස්තු ඉහළ යෑම ත්‍රිරෝද රථ හිමියන්ගේ කැමැත්ත මත සිදු වන බවත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේය.

මේ අතර පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව 5%කින්, ආනයන අපනයන බහාලු‍ම් ප්‍රවාහන ගාස්තුව 5% කින් හා බස් ගාස්තුව 4.1%කින් ඉහළ දැමීමට අදාල සංගම් තීරණය කර තිබේ.
ඩීසල් මිල ඉහළ යෑමට සාපේක්ෂව බහාලු‍ම් ප්‍රවාහන ගාස්තුව 11.5%කින් වැඩි වී තිබුණද, ආනයන අපනයනකරුවන් ගැන සිතා මේ මස 01 වැනි දින සිට 5%කින් පමණක් ඉහළ දැමීමට කටයුතු කළ බවත් බහාලු‍ම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේය.


ඉන්ධන මිල ඉහළ යෑම නිසා පාසල් ප්‍රවාහන රථ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබෙන බවත්, පවතින ආර්ථික තත්ත්වය තුළ දෙමවුපියන්ගේ තත්ත්වය ගැන සිතා 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පාසල් ප්‍රවාහන ගාස්තුව 5% කින් ඉහළ දැමීමට කටයුතු කළ බවත් සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවක සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර පත්මසිරි මහතා සඳහන් කළේය.


බස් ගාස්තුව 4.1%කින් ඉහළ ගියත්, රුපියල් 30.00ක්ව පවතින අවම බස්ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුවී නැති අතර, ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සකස් කළ ගාස්තුව පිළිගන්නා බවත්, එහෙත් ඉන්ධන මිල ඉහළ යෑම නිසා බස් හිමියන්ට පාඩු දරා ගැනීමට සිදු වන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති  ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.