ණය යෝජනාව ආර්ථිකයට වංගුවක්


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවේ බලපෑම පසුවට

උපුල් වික්‍රමසිංහ

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පසුගිය දිනවල සාකච්ඡා වූ ආකාරයේ තත්ත්වයක් මේ සති අන්තයේදී පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට නියමිත යෝජනාවෙහි අන්තර්ගත නොවනු ඇති බවට ආර්ථික විශේෂඥයෝ මත පළ කරති.


දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු පද්ධතියට හා සේවක අර්ථසාධක අරමුදලට කිසිදු බලපෑමක් නොවන බවට මහ බැංකු අධිපතිවරයා පසුගියදා රටට සහතිකයක් ලබා දුන් හෙයින්ද, පෞද්ගලික ආයෝජකයන් විසින් මිලදී ගන්නා ලද භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ නොවන හෙයින් ද, අදාළ යෝජනාවෙන් රටේ මූල්‍ය පද්ධතියට ක්ෂණික හානියක් විය නොහැකි බව ඔවුහු කියති. 

එහෙත් මෙම ක්‍රියාවලිය හරහා දීර්ඝකාලීන බලපෑම් රටේ ආර්ථිකයට සිදුවීමට ඉඩ තිබෙන බවත් ක්ෂණිකව විය හැකි වෙනසක් වන්නේ බැංකු පොලී අනුපාත අඩුවීමක්  බවත් ඔවුහු පෙන්වා දෙති. 


එහෙත් සේවක අර්ථසාධක අරමුදලේ පොලිය ස්ථාවරව පවත්වාගෙන යෑම මගින් එහි පොලී ප්‍රමාණය උද්ධමනයට සාපේක්ෂව අඩු විය හැකි බවද එය දීර්ඝකාලීනව සිදුවන්නක් බවද ඔවුහු පෙන්වා දෙති. මෙහි බලපෑම් වක්‍රාකාරයෙන් ජනතාවට දීර්ඝකාලීනව දැනෙනු ඇති බවද රාජ්‍ය බැංකු සහ වාණිජ බැංකු ලබාගෙන ඇති බැඳුම්කර කල්පිරීම දීර්ඝවීම හරහා එම බැංකුවලට ලැබෙන පාඩුව රටේ ජනතාවට දීර්ඝකාලීනව  දැනීමට ඉඩ ඇති බවද ඔවුහු වැඩිදුරටත් පවසති. 


මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොතිබුණ ද ආණ්ඩුව මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හරහා තමන්ගේ විනිවිදභාවය පෙන්වීමට උත්සාහ කරන බවත් එය අනාගතයේ ඇති විය හැකි අර්බුදයක දී චෝදනාවෙන් නිදහස්වීම පිණිස ආණ්ඩුව ගන්නා පියවරක් බවත් විපක්ෂය චෝදනා කරයි. මේ අතර සෙනසුරාදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේ දී යෝජනාවට එරෙහිව ඡන්දය දීමට විපක්ෂය තීරණය කර තිබේ. 


මේ අතර දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහනේ දී බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් සිදු නොවන බවත්, මෙරට බැංකු පද්ධතියේ ඇති ජනතාවගේ බැංකු ගිණුම්වල තැන්පතු මුදල්වලට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් මහ බැංකු අධිපතිවරයා පැවසීය.


ඒ මහතා මේ බව සඳහන් කළේ දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ගැන මාධ්‍ය දැනුම්වත් කිරීම වෙනුවෙන් පසුගිය 29 වැනිදා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය.
වසර 2022 අවසන් වෙන විට රටේ මුළු දේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 42.1 ක් බවත් එයින් දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ ඩොලර් බිලියන 19.8 ක මුදලක් (රුපියල් ට්‍රිලියන 6 ක්) ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ කර ගන්නා බවත් එම මාධ්‍ය හමුවට සහභාගී වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ප්‍රකාශ කළේය.