ඩොලර් හිඟය උග්‍ර වෙයි


(අජන්ත කුමාර අගලකඩ)  

රටේ පවතින ඩොලර් හිඟය, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ද දැඩි ලෙස බලපා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


ආහාර ද්‍රව්‍ය, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා මාසිකව ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසීයක, පන්සීයක අතර මුදලක් අවශ්‍ය වන අතර, එම ඩොලර් ප්‍රමාණය සොයාගැනීම ද ගැටලුවක් වී ඇති බව එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.  

මේ තත්ත්වය හමුවේ මහ බැංකුව සතුව පවතින ඩොලර් සංචිතවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක පමණ මුදලක් රජයේ හා පෞද්ගලික බැංකුවලට මුදාහරින ලෙස රජය මහ බැංකුවට උපදෙස් දී ඇති බව ද වාර්තා වේ.  


විදේශවලින් ආනයනය කරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග රැසක්, ඩොලර් හිඟය හේතුවෙන් වරායෙන් නිදහස් කර ගැනීම පසුගිය කාලයේ ගැටලුවක්ව තිබූ බව ද වාර්තා විය.  


කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය කඩා වැටීම හා විදේශ රැකියාවල නියුතු වූවන්ගෙන් ලැබෙන ප්‍රේෂණ විශාල ලෙස අඩුවීම මෙරට ඩොලර් සංචිතය ශීඝ්‍ර ලෙස පහත බැසීමට හේතු වී ඇත.