ඩලස් පිලෙන් හතරක් සජිත් පිලට


අජන්ත කුමාර අගලකඩ

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇතිව තිබෙන අතර, මන්ත්‍රීවරුන් හතර දෙනකු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබල සන්ධානය සමඟ ළඟදීම එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් සිවුදෙනා සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම සමඟ  එක්වීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.


සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ එක්වීම සම්බන්ධයෙන් නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් මත දෙකක් දරන අතර, රටේ ඇතිව තිබෙන ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදකාරී තත්වය හමුවේ නිදහස ජනතා සභාව ඉතා ඉක්මනින්ම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ එක්විය යුතු යැයි එම මන්ත්‍රීවරුන් සිවුදෙනා  නිදහස ජනතා සභා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.


ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කිහිප දෙනකු සඳහන් කර ඇත්තේ, සමගි ජන බලවේගය සමග එක්වන්නේ නම්, යම් කොන්දේසි මාලාවක් සහ වැඩපිළිවෙළක් සමඟ සන්ධානගත විය යුතු බවය. එසේ නැතිව සමගි ජන බලවේගය සමග එක්වීමේ තේරුමක් නැති බව ඔවුන් පෙන්වා දී තිබේ.


නිදහස ජනතා සභා මන්ත්‍රී කණ්ඩායම ඉකුත් අඟහරුවාදා නාවල පිහිටි පක්ෂ කාර්යාලයේ දී රැස්වී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, නිදහස ජනතා සභාව සමගි ජන සන්ධානය සමඟ කඩිනමින්ම එක්විය යුතු බව මහාචාර්ය ජී.එල්.  පීරිස්, ඩිලාන් පෙරේරා, මහාචාර්ය චන්න ජයසුමන සහ ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන් එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.


ඒ අනුව එම මන්ත්‍රීවරුන් සිවු දෙනා ළඟදීම  සජිත් පිල සමඟ එක්වීමට නියමිතව ඇත.