ජනපති - ශ්‍රීලනිප තීරණාත්මක හමුවක්


ආණ්ඩුවේ බලවතුන්ගෙන් ශ්‍රීලනිපයට කෙනෙහිලි  

(අජන්ත කුමාර අගලකඩ)  

ආණ්ඩුවෙන් සිදුවන බව කියන කෙනෙහිලිකම් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.   


ඒ අනුව ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් අතර තීරණාත්මක හමුවක් ලබන 21 වැනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් නොසලකා හැරීම, රජයේ කටයුතු සඳහා ආසන සංවිධායකවරුන් සම්බන්ධ කර නොගැනීම ආදී කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට දිගින් දිගටම චෝදනා එල්ල කළේය.   
 මේ අතර, ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ද දැඩි විවේචනයට පසුගියදා ලක්විය.   
 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අතර, ආණ්ඩුවෙන් සිදුවන මදි පුංචිකම් සම්බන්ධයෙන් එහිදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.   
 මේ තත්ත්වය තුළ ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ද එහිදී පිරිසක් යෝජනා කර ඇතැයි දැනගන්නට තිබේ.   
 එහෙත් එවැනි තීරණයක් මේ මොහොතේ ගත යුතු නැතැයි මධ්‍යම කාරක සභාවේ තවත් පිරිසක් එහිදී ප්‍රකාශ කර ඇත.   


 මේ තත්ත්වය තුළ පවතින ගැටලු‍ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට ශ්‍රීලනිපය තීරණය කර ඇති අතර, ඒ සඳහා ලබන 21 වැනිදා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ගේ පාර්ශ්වයෙන් දැනටමත් ආරාධනයක් ලැබී ඇතැයි ද දැනගන්නට තිබේ.