ඡන්දෙට දෙන්න සල්ලි නෑ : යෝජනාව 8 වැනිදා පාර්ලිමේන්තුවට


අජන්ත කුමාර අගලකඩ   

පළාත් පාලන මැතිවරණය සඳහා මෙවර අය වැයෙන් මුදල් වෙන් කර ඇති නමුත්, පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඒ සඳහා මුදල් ලබාදීමට නොහැකි බව මුදල් අමාත්‍යාංශය ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම දැනුම්දීම පදනම් කරමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ආර්ථික තත්ත්වය හමුවේ මැතිවරණය මාස කිහිපයකින් කල් දමන්නැයි ලබන 10 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.   


මේ වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් කෝටි දාහක මුදලක් පසුගිය අයවැය ලේඛනය මගින් වෙන් කෙරිණි. එසේ වුවද පවතින ආර්ථික තත්ත්වය හමුවේ, මැතිවරණය සඳහා මුදල් නිදහස් කිරීමට නොහැකි බව මුදල් අමාත්‍යාංශය දිගින් දිගටම ප්‍රකාශ කළේය.   


පළාත් පාලන මැතිවරණය කල් දැමීම වළක්වන ලෙස සහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සම් දෙක ලබන 10 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනෙන අතර මැතිවරණය මාස කිහිපයකින් කල් දමන ලෙස ඉල්ලා රජය වෙනුවෙන් එදින යෝජනාවක් ඉදිරිපත් කරනු ඇති බවද වාර්තා වේ.   


මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබුණේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සියලු‍ කටයුතු මේ වන විට සංවිධානය වෙමින් පවතින බවය. මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1000 ක මුදලක් ලබා දෙන්නැයි මැතිවරණ කොමිසන් සභාව මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක්ද කර ඇත.