ගොවීන්ගේ සහායට යුදහමුදාව කුඹුරට


සෑම වගා බිමකටම එක නිලධාරියෙක්

(සුජිත් හේවාජුලිගේ)  

 

 

 

 

ඉදිරි යල කන්නයේදී (මාර්තු - සැප්තැම්බර්) ගොවීන්ට උපරිම ලෙස සහාය වීම සඳහා රට පුරා සෑම කුඹුරකට සහ වගාබිමකටම හමුදා නිලධාරියකු බැගින් යොමු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මෙරට කෘෂිකර්මාන්තය ඉහළම තැනකට එසවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් මත තමා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පැවසූ යුද හමුදාපතිවරයා වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලු සැලසුම් සකසා අවසන් කර ඇතැයිද සඳහන් කළේය.  


කෘෂිකර්මයට සම්බන්ධ ආයතන සහ නිලධාරීන් සමග සම්බන්ධ වී (සම්බන්ධීකරණය) ගොවීන්ට පොහොර සැපයීමේ සිට අස්වැන්න ලබාගැනීම දක්වා වූ සියලු කටයු සඳහා විවිධාකාරයට උදව් කිරීම මෙම හමුදා නිලධාරීන්ට පැවරෙන වගකීම බවද ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.  


කොවිඩ් එන්නත්කරණයේදී උපරිම ලෙස දායකත්වය දැක්වූ ආකාරයටම රටේ කෘෂිකර්මාන්තය ඉහළ නැංවීම සඳහා ද ඉහළම දායකත්වය දැක්වීමට යුද හමුදාව සූදානම් බවත් ජනාධිපතිවරයා ඒ සඳහා තමාට අවශ්‍ය උපදෙස් සියල්ල ලබාදී ඇති බවත් යුදහමුදාපතිවරයා ප්‍රකාශ කළේය.  


කෘෂි කර්මාන්තය ඉහළ නැංවීම සඳහා විවිධ පාර්ශ්ව ඉදිරිපත් කර ඇති යෝජනා ද මෙහිදී සැලකිල්ලට ගන්නා බව පැවසූ ඒ මහතා උතුරු නැගෙනහිර ඇතුළු තෝරාගත් බිම් ප්‍රදේශවල යුද හමුදා සාමාජිකයන් යොදවා විවිධ වගා ව්‍යාපෘති දැනටමත් අරඹා ඇතැයිද පැවසීය.