ගැටුම විසඳීම අගමැති භාරගනියි


(අජන්ත කුමාර අගලකඩ)  

ජාතික නිදහස් පෙරමුණේ නායක, ඇමැති විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන දේශපාලන ආරවුල විසඳීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් බාරගනු ලැබ ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.  

මෙම ආරවුල විසඳීමට මැදිහත්වන ලෙස ආණ්ඩුවට හිතවාදී භික්ෂූන් වහන්සේලා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් අගමැතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව, ඔහු එම කටයුත්ත බාර ගෙන ඇති බව ද එම ආරංචිමාර්ග කියයි.  

ඇමැති විමල් වීරවංශ මහතා ඉකුත් සතියේ ඉරිදා ලංකාදීපයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක සඳහන් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා විරවංශ මහතා අතර දේශපාලන ආරවුලක් මේ වනවිට ඇතිව තිබේ.  


ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ද විමල් වීරවංශ මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් අදහස් ප්‍රකාශ කර තිබිණි.  
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ද මාධ්‍ය හමුවක් කැඳවා වීරවංශ මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කළ අතර ඔහු ජනතාවගෙන් සමාව ගත යුතු බව ද ප්‍රකාශ කළේය.  


ඉකුත් අඟහරුවාදා පස්වරුවේ පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයෙ රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ද අගමැතිවරයාට කරුණු පැහැදිලි කර තිබිණි.