ගම්මන්පිල ගෙදර යවයිද?


පසු පෙළෙන්  බලපෑමක්

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් හෙට 

(අජන්ත කුමාර අගලකඩ)   

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අතර ඇතිව තිබෙන දේශපාලන ගැටුම මේ වනවිට ආණ්ඩුවේම පාර්ශ්ව දෙකක් අතර ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත. 

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කීපයක් ගම්මන්පිල මහතා වෙනුවෙන් එකට එක්වී සිටින අතර, එම පිරිසට එරෙහිව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ද කාරියවසම් මහතා සමග එක්ව සිටී.  


ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත්කර වෙනත් අමාත්‍ය ධුරයකට පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීමේ මෙහෙයුමක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බව දැනගන්නට ඇත.  


ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ද ගම්මන්පිල මහතාට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.   


 ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉකුත් බදාදා බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී රැස්වී ගම්මන්පිල මහතාට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි දැනගන්නට තිබේ.   


 මේ තත්ත්වය තුළ ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාවේ දී ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලු‍කාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.   


මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී හෙට (21) සවස 6.30 ට පැවැත්වීමට නියමිතව ඇත.   
 ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට ඇත.