ගමට යන්න සල්ලි ඕනෑ


මන්ත්‍රීවරු

සුජිත් හේවාජුලිගේ

තම ප්‍රදේශයන්හි සංවර්ධනය සඳහා විමධ්‍යගත අරමුදල් ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් 
ජනාධිපතිවරයාගෙන් සහ කතානායකවරයාගේ පසුගියදා නැවත වරක්  දැඩිව ඉල්ලීමක් කර ඇත.


මෙම ඉල්ලීම කර ඇති පිරිසට විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද ඇතුළත් වෙති. විමධ්‍යගත අරමුදල් නොලැබීමෙන් තම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලට විශාල බාධාවක් සිදුවී ඇති හෙයින් දේශපාලන වශයෙන්ද තමන්ට විශාල ගැටලු‍වක් පවතින  බව එම මන්ත්‍රීවරු එහිදී පෙන්වාදී දුන්හ.

ඉදිරියේදී මැතිවරණ පැවැත්වෙන හෙයින් මේ තත්වය යටතේ තමන්ට ජනතාව හමුවට යෑමට නොහැකිවී ඇති බවද මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත. ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මුදල් ලබාදීම වසර තුනක පමණ කාලයක සිට නතර කර තිබේ.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ප්‍රදේශවල සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට ලබාදෙන බවයි. එම කමිටු හරහා ප්‍රාදේශීය සහ ග්‍රාමීය කමිටුවලට මුදල් බෙදා දීම කරන බවත්, එම කමිටු සාකච්ඡාවලට සහභාගි වන ලෙස මන්ත්‍රීවරුන්ටද  ආරාධනා කරන බවත් ඔහු සඳහන් කළේය.


මන්ත්‍රීවරුන්ට  විමධ්‍යගත අරමුදල් ලබාදීමට වඩා පොදුවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම  ජනතාවගේ ඉල්ලීම බවද හෙතෙම කීවේය.


මන්ත්‍රීවරැන්ට විමධ්‍යගත අරමුදල් ලබාදීමේදී තමන්ට හිතවත්, තමන්ට ඡන්දය දුන් අයගේ පාරවල් පමණක් හැදෙන තත්වයක් පසුගිය කාලය පුරා දක්නට ලැබුණු බව ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය. විමධ්‍යගත අරමුදල් වහාම ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී පසුගියදා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළහ.