කොරෝනා වේගයෙන් පැතිරෙනවා


වෛද්‍යවරු අනතුරු අඟවති 

(දයාසීලි ලියනගේ)  

රජය ඇතුළු වගකිව යුතු අංශ බොහොමයක් එන්නතට පමණක් යොමු වී සිටීමත්, රටේ ජනතාව සෞඛ්‍ය උපදෙස් නොසලකා හැරීමත් නිසා කොරෝනා වයිරසය ප්‍රචලිත වීම වඩාත් බරපතළ තත්ත්වයට පත්වී තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.  


මේ වනවිට බහුතරයක් ජනතාව දුරස්ථභාවය ආරක්ෂා කර නොගන්නා අතර දෑත් පිරිසිදු කර ගැනීම ගැන අවධානය නොදක්වන තත්ත්වයට පත්වී සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.  

මුව ආවරණ පැළඳුවත් එයද බහුතරයක් පිරිස නිසි ලෙස යොදා නොගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.  
මේ වනවිට රෝගය පිළිබඳව අවදානම ජනතාව වෙතින් ගිලිහෙමින් පවතින අතර ජනතාව එක පොදියට හැසිරෙන අවස්ථා දක්නට ලැබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.  


ඩෙල්ටා වයිරසයේ පැතිරීම ඉතා වේගවත්ව සිදුවන නිසා කොරෝනා මර්දනය කිරීමට ප්‍රමුඛ අවධානයක් ලබාදිය යුතු බව අදාළ බලධාරීන්ට පෙන්වා දී ඇතැයිද ඔහු වැඩිදුරටත් කීය.