කැබිනට්ටුවට තව 12 ක්


 

  • පොහොට්ටුවට 10යි
  • සෙසු පක්ෂවලට 2යි
  • දිවුරුම ලබන සතියේ

 අජන්ත කුමාර අගලකඩ

කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් තවත් දොළොස් දෙනකු පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන් දහදෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බවද දැනගන්නට ඇත.

නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, සී. බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්. බී. දිසානායක, විමලවීර දිසානායක, ආචාර්ය සරත් වීරසේකර, එස්. එම්. චන්ද්‍රසේන ඇතුළු දහ දෙනකුගේ නම් පොහොට්ටුවෙන් යෝජනා කර ඇති අතර, ජීවන් තොණ්ඩමන් සහ ඒ. එල්. එම්. අතාවුල්ලා යන මහත්වරුන් සෙසු පක්ෂ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට පත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.   


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැබිනට් මණ්ඩලයට පත් කිරීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනටමත් යවා ඇතැයි දැනගන්නට තිබේ.   


නව කැබිනට් මණ්ඩලය මේ සතියේ දී පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.   
අමාත්‍යවරුන් පත්කිරීමේ දී විෂය පථයන් වෙනස් වන බැවින්, කැබිනට් මණ්ඩලයම යළි දිවුරුම් දීමට නියමිතව ඇති බවද පැවසේ.   


දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරුන් ගණන 18කි.   


මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කර ඇති තවත් නම් දෙකකට ඇතැමුන්ගේ විරෝධය පළ වී ඇති බවද පැවසේ.