කෝටි 10ක අල්ලසක් ගත් බවට චෝදනා නාමල් දින 14ක් රිමාන්ඩ්


මනෝප්‍රිය ගුණසේකර

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා මිල දී ගැනීමේ දී රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් අල්ලසක් ලෙස ලබාගෙන, අල්ලස් පනත යටතේ විග්‍රහ කෙරෙන ‘“දුෂණය” නම් වරද කරන ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම නියෝග කළේය.

ප්‍රස්තුතයට අදාළව තවදුරටත් විමර්ශන කරන බව කියමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් සමග පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාවෙත පැවසීය. මෙම සිදුවීමේ දී සිංගප්පූරුවේ ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවේ ගිණුමකට යොමු කළ මුදලකින් ඇ.ඩො. 800,000ක මුදලක් සිංගප්පූරුවේ ඕ.සී.බී.සී. බැංකුවේ ඇති නිමල් පෙරේරා යන අයට අයත් සමාගමක ගිණුමකට යොමුකර, ඒ හා සමාන මුදලක් ලෙස ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් 2014-2015 කාලයේ අවස්ථා කීපයක දී නිමල් පෙරේරාගෙන් නාමල් රාජපක්ෂ ලබාගෙන ඇතැයි අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් නිමල් පෙරේරා අල්ලස් හෝ දූෂණ කොමිසමට ප්‍රකාශයක් ලබාදී තිබෙන බවත් මෙහිදී ප්‍රකාශ විය.
මෙම ප්‍රකාශය මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින නිමල් පෙරේරා හමුවීමට ගොස් සටහන් කරගත් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය. තමන්ට මරණීය තර්ජන ඇති බැවින් මෙරටට පැමිණීම ඔහු ප්‍රතික්ෂේප කරන බවද ඔහු මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන්ට දිවුරුම් ප්‍රකාශයක් ලබා දී තිබෙන බවද ඔහු අධිකරණයට දැන්වීය. 

මේ වනවිට එයාර් බස් මව් සමාගම ප්‍රශ්නගත ගනුදෙනුව සම්බන්ධයෙන් ඕනෑම විමර්ශනයකට සහාය දීමට එකඟවී ඇතැයිද එම සමාගමේ ඉහළ නිලධාරීන් අවස්ථා 3 කදී මෙරටට පැමිණ ප්‍රකාශ 4 ක් දී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය. 

සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතීඥවරු කණ්ඩායමක් සමග පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් කරුණු දක්වමින් දඬුවමක් වශයෙන් තම සේවාදායකයා රිමාන්ඩ් බාරයට පත් නොකොට ඔහුට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.

ප්‍රශ්නගත ගුවන්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම මගින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් දීම සඳහා කර තිබු කැඳවීමට අනුව තම සේවාදායකයා අල්ලස් කොමිසමට පැමිණි බවත්, ඔහු විමර්ශනවලට බාධාකරන පුද්ගලයකු නොවන බවත්, පෙන්වා දුන්නේය. එසේම නිමල් පෙරේරාගේ ප්‍රකාශය මත පමණක් සිය සේවාදායකයා සම්බන්ධයෙන් චෝදනා කිරීම සාධාරණ නොවන බවද නීතීඥවරයා පෙන්වා දුන්නේය.

ප්‍රංශයේ හෝ එයාර් බස් සමාගමේ නිලධාරීන් තම සේවාදායකයාට මුදල් දුන් බවට ප්‍රකාශ කර නොමැති බවත් නීතිඥවරයා පැවසීය. නිමල් පෙරේරා සම්බන්ධයෙන් ඇති තවත් නඩුවක වන ‘ක්‍රිෂ්’ නඩුවේදී මෙම නඩුවේ දී ද සඳහන්වන සමාගම ගැන කියැවෙන බවත් එය තමන්ගේ නොව ඉතාලි ජාතික මිත්‍රයෙකුගේ බවත් නිමල් පෙරේරා ප්‍රකාශ කර ඇතැයි ද නීතිඥවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ඉදිරිපත්වු සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු රිමාන්ඩ් භාරයට පත්කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරනු ලබන විමර්ශන වල ප්‍රගතිය ලබන 18 වැනිදා අධිකරණයට දැනුම් දීමට අල්ලස් කොමිසමට නියම කළේය.