ඒකාබද්ධ විපක්ෂයෙන් මුදල් ලේකම්ට එරෙහිව නඩු


අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ   

පළාත් පාලන මැතිවරණයට අයවැයෙන් වෙන්කරන ලද මුදල් වහාම නිදහස් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට විපක්ෂයේ පක්ෂ තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ එක්ව මේ දිනවල සාකච්ඡා කරගෙන යන බව විපක්ෂයේ පක්ෂ කිහිපයක නායකයෝ ‘ඉරිදා ලංකාදීප’යට පැවැසූහ.


පළාත් පාලන මැතිවරණය සඳහා අයවැයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන වහාම නිදහස් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉකුත් දා නියෝග කළේය.   


ඒ සමගි ජන ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ගොනු කරන ලද පෙත්සමක් සැලකිල්ලට ගනිමිනි.   


එසේ තිබියදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා එම නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන්, අධිකරණයට අපහාස කරන ලදැයි කියමින් විපක්ෂයේ පක්ෂ එක්ව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව විපක්ෂයේ පක්ෂ නායකයෙක් සඳහන් කළේය. සමගි ජන බලවේගය, නිදහස් ජනතා සන්ධානය ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන බවද ඔහු කීවේය.