එක්ස්ප්‍රස් පර්ල් නඩු සිවිල් නඩුව සිංගප්පූරු නොගියා නම් වන්දිය ඩො.බිලියන 6 පනී


ශ්‍රේෂ්ඨාධිකරණය මානව හිමිකම් නඩුව සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව ජාත්‍යන්තර අධිකරණයක අභියාචනා කළ නොහැකියි

එංගලන්තය ලබා දුන් නඩු තීන්දුව වහාම ශ්‍රී ලංකාව අභියාචනය කළ යුතුයි

ලවංගා මාධවී දෑරංගල

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානිය සම්බන්ධයෙන් නෛතික තත්ත්වය පැහැදිලිව තිබිය දී, විශේෂඥයන්ගේ විරුද්ධවීම් පවා නොසලකා සිංගප්පූරු අධිකරණයක සිවිල් නඩුකරයක් පැවරීම සඳහා එවක නීතිපතිවරයා ගනු ලැබූ තීරණය නිසා ශ්‍රී ලංකාවට ලබාගත හැකිව තිබූ ඩොලර් බිලියන 6 කට වැඩි මුදලක් අහිමිව ගොස් ඇතැයි නාවුක හා ජාත්‍යන්තර නීති විශේෂඥයෝ පවසති. 

මෙම නැව සම්බන්ධ මකා දමන ලද සියලු තොරතුරු, වට්ස්අප් පණිවුඩ ආදිය සාක්ෂි ලෙස රජය සතුව තිබියදීත් නඩුව සිංගප්පූරුවට ගෙන යෑම අතිශය පාඩුවක් බව විශේෂඥයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාවේ දී සිවිල් නඩුකරයක් පවරා ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කොට විශාල වන්දි මුදලක් ලබාගැනීමේ හැකියාව තිබූ බවත් විශේෂඥයන්ගේ අදහසයි.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ කමිටු වාර්තා දෙකක් කැඳවා ඇති අතර පළමු වාර්තාවෙන් ඩොලර් බිලියන 1.8ක් ලෙසත්, දෙවන වාර්තාවෙන් ඩොලර් බිලියන 6.4ක් ලෙස සමස්ත හානිය ඇස්තමේන්තුගත කර ඇත. එහෙත් වර්තමාන මුදල් වටිනාකම අනුව එය ඩොලර් බිලියන 10 ඉක්මවන ප්‍රමාණයකි.

එසේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ  ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අවසන් තීරණය බවත් කිසිදු ජාත්‍යන්තර හෝ බේරුම්කරණ අධිකරණයකට නැවත අභියාචනා කළ නොහැකි බවත් නාවික හා මුහුදු නීතිය පිළිබඳ විශේෂඥ, ආචාර්ය නීතිඥ ඩෑන් මාලික ගුණසේකර ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ ය. 

එසේ ම මෙවැනි නඩුකරයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ නියෝග කරන ලද විශාලතම වන්දි මුදල මෙය වන බවත්, සිංගප්පූරු අධිකරණයේ සිවිල් නඩුකරයක් පවරා ඇති බවත් ඔහු පැවසීය. 

කෙසේ නමුත්, “සිංගප්පූරුවේ පවතින නීතිමය තත්ත්වය අනුව මේ සම්බන්ධයෙන් ඇති අනෙක් නඩුවට ලබා ගැනීමට හැකි වනුයේ ඉතා සුළු වන්දි මුදලක්. සිවිල් නඩුකරය ද මෙරට අධිකරණයේ විභාග කළා නම් ඊට වැඩි මුදලක් වන්දි ලෙස ලබා ගැනීමට හැකි ව තිබුණා”‍ යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.

ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර, ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා, නීතීඥ ඩෑන් මාලික ගුණසේකර යන නීතිඥවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුව ඇතුළු බොහෝ විශේෂඥයන් මෙන් ම රාජ්‍ය නිලධාරීන් ද නිර්දේශ කරන ලද්දේ ප්‍රමාණවත් වන්දි ලබාගැනීම සඳහා එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියට අදාළ සිවිල් නඩුකරය ද සිංගප්පූරු අධිකරණයක නොපවරා මෙරට දී විභාග කරන ලෙසයි. 

මේ පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය අකලංක තිලකරත්න පැවැසුවේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව බලාත්මක කිරීමේ දී, නෞකා සමාගම අදාළ වන්දිය ගෙවීමට එකඟ නොවුවහොත්, එම සමාගම සතු මෙරට දේපළ පවරා ගැනීම සඳහා පියවර ගැනීමට සිදුවන බවයි. එය ද ප්‍රමාණවත් නොවුණහොත් ජාත්‍යන්තර අධිකරණ හරහා විදේශයන්හි දේපළ පවරා ගැනීමට සිදුවනු ඇති අතර එමඟින් ඉතා ගැටලු‍කාරී තත්ත්වයන් උද්ගත විය හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

නෞකාවෙහි තිබූ යම් කන්ටේනර ප්‍රමාණයක් සම්බන්ධයෙන් රක්ෂණ සමාගමක් විසින් එංගලන්තයේ අධිකරණයක නඩුවක් පවරනු ලැබ ඇති අතර එම නඩුවේ දී තීන්දු කළ පරිදි ඇස්තමේන්තුගත කරන ලද සමස්ත හානියට ගෙවිය හැකි උපරිම වන්දිය යුරෝ මිලියන 19කි. එනම් ඩොලර් මිලියන 25කි. එංගලන්තය සහ සිංගප්පූරුව මේ වන විට LLMC නම් නීති ප්‍රඥප්තියක් සඳහා අත්සන් කර ඇති අතර එයට අනුව සිංගප්පූරුවේ විභාගවන එක්ස්ප්‍රස් පර්ල් නඩුවෙන් ප්‍රමාණවත් වන්දියක් ලබාගැනීමට නම් මෙරට නීතිපතිවරයා විසින් එංගලන්ත අධිකරණය මගින් ලබාදෙන ලද නඩු තීන්දුව අභියාචනා කළ යුතු ය. එංගලන්තයේ අධිකරණයෙන් නඩු තීන්දුවක් ලබා දී ඇති නිසා සිංගප්පූරු නඩුකරය ද තාවකාලික ව නවතා ඇති අතර මෙරටින් දැනට අභියාචනයක් ද සිදුකර නැත.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ  සිද්ධිය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ගොඩබිමට නාවික සැතපුම් 4-5ක් පමණ ඈතිනි. නාවික සැතපුම් 12ක් දක්වා සාගරයට බලපානුයේ මෙරට නීතියයි. 

2021 වසරේ කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේදී සිදු වූ මෙම නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත්, එහි දී ඇති වූ පාරිසරික මෙන් ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබුණේ පසුගිය 24 වැනිදා ය.