ඇස්ට්‍රාසෙනිකා විදගත් ලක්ෂ පහ හමාරක් අසීරුවේ


බලය බිඳිලා දැයි වෛද්‍යවරුන්ටත් සැක

(දයාසීලි ලියනගේ)   

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් ලක්ෂ පහ හමාරකට ආසන්න පිරිසකට මාස තුනකට අධික කාලයක් තිස්සේ එහි දෙවැනි මාත්‍රාව ලබාගැනීමට නොහැකිවීම නිසා ඔවුහු දැඩි අසීරුතාවකට හා අසහනකාරී තත්ත්වයකට පත්ව සිටිති.   

පළමු මාත්‍රාව ලබාදී මාසයක් ඇතුළත දෙවැනි මාත්‍රාව ලබා දීම සිදුවන අතර ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාදී මේ වන විට මාස තුනකට අධික කාලයක් ගත වී ඇති නිසා දැන් එයින් ලබන ප්‍රතිශක්තිකරණය පිළිබඳව පවතින බලය ඉවත් වී තිබේද යන සැකය මත මේ තත්ත්වය ඇති වී තිබෙන බව වාර්තා වේ.   
මාස හයක් මෙම පළමු මාත්‍රාවේ ප්‍රතිශක්තිකරණය රඳාපවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර ඇතත්, වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ පළමු මාත්‍රාව ලබාදී දින 75 කින් ප්‍රතිශක්තිය හීන වී යන බවය.   
එක් වර්ගයක මාත්‍රාවක් ලබාදුන් පුද්ගලයකුට වෙනත් වර්ගයකින් දෙවැනි මාත්‍රාව ලබාදීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ප්‍රධාන පෙළේ වෛද්‍යවරයෙක් ප්‍රකාශ කළේය.   


ඇස්ට්‍රාසෙනිකා එන්නත් 12,63000ක් පසුගිය මාර්තු මාසයේදී ලැබී තිබූ අතර එයින් ලක්ෂ 6 කට අධික පිරිසකට මෙම දෙවන මාත්‍රාව ලබාදී නොතිබුණි.   


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේ ජපානය ලබාගෙන තිබූ මෙම එන්නත් තොගයක් ශ්‍රී ලංකාවට ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වී සිටින නිසා ඉදිරි දිනවලදී එය ලැබෙන බවය.   


එම එන්නත් තොගය ලැබුණු වහාම දෙවැනි මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා බවද ඔහු කීය.