ඇමතිකම් නෑ විපක්ෂයේ වාඩි වෙමු


පොහොට්ටු ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් සාකච්ඡාවක

අජන්ත කුමාර අගලකඩ

ඇමතිකම් අපේක්ෂාවෙන් සිට, මෙතෙක් ඇමතිකම් නොලැබුණු ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ  මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් දස දෙනකු පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය සතියේ  වරින්වර හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

තමන් විපක්ෂයේ අසුන් ගත්තද තවදුරටත් පොදුජන පෙරමුණේ සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි මෙම  කණ්ඩායම නියෝජනය කරන හිටපු ජ්‍යෙෂ්ඨ  අමාත්‍යවරයකු සඳහන් කළේය.


මෙම පිරිස ආණ්ඩු පක්ෂයේ රුස්වීම්වලට ද සහභාගී නොවීමට තීරණය කර ඇති අතර , පසුගිය කාලයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ රැස්වීම්වලට ද ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සහභාගි වී නොමැති බව දැනගන්නට ඇත.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසකට කැබිනට් අමාත්‍ය ධුර ලබා දෙන්නැයි ඉල්ලමින් පොදුජන පෙරමුණේ නායකයන් ජනාධිපතිවරයා වෙත මීට මාස ගණනාවකට පෙර නාම ලේඛනයක් යවා තිබිණි. ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලු‍ත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.බී. දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, ගාමිණි ලොකුගේ, සරත් වීරසේකර, විමලවීර දිසානායක යන අයගේ නම් එහි සඳහන් විය.  
එසේ වුව ද ඔවුන්ට ඇමතිධුර ලබා දීම දිගින් දිගටම ප්‍රමාද වී තිබේ. 


මේ අතර, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා පැවැති ආණ්ඩු පක්ෂ රුස්වීමට ද කළකිරීමට පත්ව සිටින මන්ත්‍රීවරුන්ගෙන් අතිබහුතරය සහභාගි වී නොමැත.