ඇඳන් දහදාහක ප්‍රතිකාර මධ්‍යස්ථාන අටක් හමුදාවෙන් සූදානම් කරනවා


යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා  

  • යුද හමුදා කඳවුරු වුවත්  රෝගීන්ට ලබා දෙන්න අපි සූදානම්

(නිමන්ති රණසිංහ)  

දිනෙන් දින ඉහළ යන කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් 10,000 කින් සමන්විත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 08ක් සකස් කිරීම ආරම්භ කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.   

එහි මූලික පියවර වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව මගින් පාලනය කෙරෙන ඇඳන් 1200කින් සමන්විත සීදුව ප්‍රදේශයේ ඉදිකෙරෙන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඉදිරි දින කිහිපය තුළ රෝගීන් ඇතුළත් කිරීමට නියමිතව ඇතැයි යුද හමුදාපතිවරයා කීය.  


දිවයින පුරා පිහිටි යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථාන 07ක කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කිරීම සඳහා මේ වන විට එහි ආඥාපතිවරුන් කටයුතු කරමින් සිටින බව ද ඔහු පැවසීය. ඒ අනුව ආරක්ෂක සේනා මූලස්ථානය බටහිර, මධ්‍යම, නැගෙනහිර, උතුර, කිලිනොච්චිය, මුලතිව් සහ වන්නි යන ස්ථානවල මෙම අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කිරීමට නියමිතව ඇතැයි යුද හමුදාපතිවරයා කීවේය.  
දිනෙන් දින ඉහළ යන කොරෝනා රෝගීන් හේතුවෙන් කිසිදු අවස්ථාවක ඔවුන් අපහසුතාවට ලක් නොකරන බවත් යුද හමුදා කඳවුරු වුවත් රෝගීන් වෙත ලබා දී රටේ ආරක්ෂාවට ගස් යට සිටිමින් හෝ ඉටුකිරීමට යුද හමුදාව සූදානම් බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.