ආහාර ගබඩා වලට කෝටි 13 ක පොල්ලක්


සුජිත් හේවාජුලිගේ

රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන රැසක් සිය අවශ්‍යතා සඳහා ලබාගත් ගබඩා වෙනුවෙන් රුපියල් කෝටි 13 කට ආසන්න කුලී මුදලක් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවෙන් පමණක් ආහාර දෙපාර්තමේන්තුවට අයවිය යුතු හිඟ මුදල රුපියල් දෙකෝටි හැටඑක් ලක්ෂයක් බව ද එම වාර්තාව සඳහන් කරයි.

වාර්තාවේ දැක්වෙන අන්දමට ආහාර දෙපාර්තමේන්තුව සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට පමණක් ලබාදී තිබූ ගබඩා සංඛ්‍යාව නවයකි. මේ තොරතුරු සඳහන් වන්නේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත සහල් සංචිත තොග පවත්වාගෙන යනු ලැබීම හා ගබඩා උපයෝජනය කාර්ය සාධනය පිළිබඳ විගණන වාර්තාවේය.  
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩා සංඛ්‍යාව 120 කි. ඒවායේ මුළු ධාරිතාව මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූහය දහස් නවසිය හතළිස් හයකි. එම ගබඩාවලින් 46 ක් රජයේ සහ පෞද්ගලික ආයතනවලට කුලී සහිතවද ගබඩා විසි අටක් රජයේ සහ පෞද්ගලික ආයතනවලට කුලී රහිතව ද ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.  
මුළු ගබඩා කුලියෙන් රුපියල් ලක්ෂ පනස් නවයකට වැඩි මුදලක් අයකර ගැනීම සඳහා ආයතන හා පුද්ගලයන් හය දෙනෙකුට පමණක් නඩු පවරා තිබූ බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.